2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

පූටින්ගේ ගෙදර එළිපත්තේ බෝම්බයක්!

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 182

පසුගිය බදාදා සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ පුපුරා ගියේ ත්‍රස්ත බෝම්බයක් බව පුටින් පසුගිය බ්‍රහස්පතින්දා ලෝකයට පැවැසීය. ලෝකයේ සිටින තවත් දඩබ්බර නායකයෙක් වන පුටින් දෙවැනිවරටත් සිය බලය තහවුරු කර ගැනීමේ මෙහෙයුමක යෙදී සිටියි. ඒ අනුව සිය ජනකාන්ත ප්‍රධාන ප්‍රතිවාදියා වන ඇලෙක්සි නවාල්නී උපක්‍රමශීලීව ඡන්ද සටනින් ඉවත්කර තබන්නට ඔහු ක්‍රියා කළේය. උතුරු කොරියාව සහ අමෙරිකාව අතර ඇතිව තිබෙන, විශේෂයෙන්ම ට්‍රම්ප්  සහ කිම් ජොං උන් වරින්වර ජාත්‍යන්තරය හිනස්සමින්, වරෙක තැති ගන්වමින් සිදුකරන උන්මාදනීය වාග් සංග්‍රාමය අවසන් කරන්නට තමන්ට හැකි යැයි පුටින් උදම් ඇනුවේ මේ සතිය මුලදීය. එසේම මෙයට දින 10කට පමණ උඩදී ඔහු කීවේ ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට පෞද්ගලිකව සැපැයූ අනතුරු ඇඟවීමක් අනුව සාන්ත පීතර්බර්ග් නගරය පුරා සිදුකරන්නට සැලසුම් කර සිටි ත්‍රස්තවාදීන්ගේ මාරාන්තික පිපිරීම් මාලාව අඩපණ කරන්නට තමන්ට හැකිවූ බවටය. ඔහු එසේ කියා දින 10ක් ගතවන්නටත් පෙර සාන්ත පීතර්බර්ග් නගරයේ ජනාකීර්ණම ප්‍රදේශයකදී බදාදා බෝම්බයක් පුපුරා ගියේය.

නගරයේ ප්‍රධාන මාරකැට්ටුවේ බෝම්බය පුපුරා ගියේ බදාදා සවස ජනයා බහුලව ගැවැසෙන මොහොතකදීය. TNT පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් දෙසීයක් ඒ අතරට යකඩ බෝල වැනි මාරාන්තික අමු ද්‍රව්‍යද යොදා තනා තිබූ බෝම්බය කරේ බැඳගත් බෑගයක දමාගත් පුද්ගලයකු මාරකැට්ටුව අසල එය තබා ඉවත්ව යන ආකාරය ඔත්තු බලන කැමරාවල සටහන්ව ඇති බව බලධාරීහු පවසති.

මේ හේතුවෙන් 13 දෙනකු තුවාල ලබා ඇති අතර ඉන් පස් දෙනකුගේ තත්ත්වය මාරාන්තික බව වාර්තාවේ. පුටින් අමෙරිකාවේ සී.අයි.ඒ. වෙත සිය ස්තූතිය පිරිනැමුවේ තමන්ගේ රටේ සිටින්නට යන බෝම්බ ප්‍රහාර ගැන කලින් දැනුම්දීම සම්බන්ධයෙනි. ඔහු හා ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකය පුරා ව්‍යාප්තව ඇති ත්‍රස්තවාදය ගැන පැයෙක පමණ වේලා පසුගිය නොවැම්බරයේදී දුරකතන සාකච්ඡාවක යෙදුණි. ඒ ආසියා පැසිපික් කලාපීය සමුළුව අතරදීය. උතුරු කොරියාව, යුක්රේනය සහ සිරියාවේ තත්ත්වය එහිදී බරපතළ සාකච්ඡාවට ගැනුණි. ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට පුටින් උපකාර කළා සේම පුටින්ගේ බලය රඳවා ගැනීමේ මීළඟ සටනටද අමෙරිකාව උපකාර වන බව ජාත්‍යන්තරය තුළ එළිපිට කතාබහට ලක්වන කවුරුත් දන්නා රහසකි. ලෝකයේ ත්‍රස්තවාදය මඩින්නට මේ නායක දෙපළ කොතරම් කටමැත දෙඩවූවද තමන්ගේ ගෙදර එළිපත්තේ සිදුවන ත්‍රස්ත ක්‍රියා වළක්වා ගැනීමට තවමත් මේ ලෝක බලවතුන්ට හැකියාව ලැබී නොමැති බව සාන්ත පීතර්බර්ග් නගර බෝම්බය තහවුරු කර තිබේ. ත්‍රස්තවාදය ඉදිරියේ කිසිවෙකුත් ආරක්ෂිත නැත යන්න මෙහිදී තවදුරටත් තහවුරු වී තිබේ.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00