2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

මියගොස් අවුරුද්දයි ජයලලිතාට දුවෙක්!

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 471

තමිල්නාඩුවේ මහ ඇමැතිනිය ජයලලිතා ජයරාම් ජීවත්ව සිටියදීද ගත කළේ ආන්දෝලනාත්මක ජීවිතයකි. ඇගේ ජීවිතය වටා තිබුණේ අබිරහස් ගොන්නකි. දැන් ඒ අබිරහස් ගොන්නට තවත් එකක් එකතු වී තිබේ. ඒ, මෙතෙක් දක්නට නොසිටි ජයලලිතාගේ දියණියක් කලඑළි බැසීමත් සමඟිනි.

වයස 37ක බැංගලූර් කෙල්ලෙක් වන අම්රුතා නැමැත්තිය සුප්‍රිම් උසාවියට පෙත්සමක් යවා තිබේ. තමන් ජයලලිතාගේ ලෙයින් උපන් නියම දියණිය බව කියමිනි. තමන්ගේ අනන්‍යතාව තහවුරු කරන්නට DNA පරීක්ෂාවක් කරන ලෙස ඈ ඉල්ලා තිබේ. ඇගේ කතාව අබිරහස් ගොන්නකින් වැසී ඇති හතරබීරි කතාවකි. මේ අනුව තමන් ජයලලිතාගේ දියණිය බව ඈ දැනගන්නේ ජයලලිතාගේ මළගෙදරට ආ ඇගේ නැන්දනියන් බව කියන තැනැත්තියන් දෙදෙනකුගෙනි. මේ කියන ලලිතා සහ රන්ජනි දෙපළ ඔවුන්ට කියන පරිදි ජයලලිතාගේ ඥාති සොයුරියන්ය. ඔවුන්ගෙන් හෙළි වූ කරුණු ද සහිතව අම්රුතා කියන කතාව තවත් අපූරු එකකි.

ජයලලිතාට සිටියේ එකම සහෝදරයකු බව වාර්තාගතව ඇතත් අම්රුතා කියන්නේ තමන් දරුකමට හදාගත් ෂයිලාජා නම් වූ මව ජයලලිතාගේ බාල සහෝදරිය බවය. කතාවට අනුව ජයලලිතාගේ මව ෂයිලාජා උපන් කාලයේදීම සිනමාවට පිවිසි අතර ෂයිලාජාව සිනමා අධ්‍යක්ෂ දමෝදාර් පිල්ලේ වෙත දරුකමට හදාගන්නට බාරදී තිබේ. මේ නිසා ඇය සහ ජයලලිතා සහෝදරියන් බව ලෝකයෙන් වසංගන්නට කටයුතු සිදුව තිබේ. පසුව ඇය විවාහයට එළැඹි අතර ජයලලිතා සිය සහෝදරිය සමඟ රහස් සබැඳියාව දිගටම ගෙනගොස් ඇත. එසේ තිබියදී 1980 අගෝස්තු මාසයේ 14 වැනිදා ජයලලිතා සිය චෙන්නායි නුවර මයිලපෝර් නිවසේදී රහසිගතව දියණියක් ප්‍රසූත කළාය. ඇය මුළු පවුලටම මෙන්ම ජයලලිතාගේ අනාගතයටද කළු පැල්ලමක් ලෙස සැලකෙන හෙයින් සිය නැගණිය ෂයිලාජා වෙත දරුකමට හදාගන්නට බාරදී තිබේ. එවකට විවාහකව සිටි ෂයිලාජා, අම්රැතා දරුකමට හදාගත් අතර ඉතා කෙටිකලකින්ම ජීවිතයෙන් සමුගෙන යයි. මේ නිසා අම්රැතාට ඉතිරි වන්නේ හදාගත් පියාගේ සෙවණයි. ඔහුද ඇයට දැන් අහිමිව ගොසිනි. ජයලලිතා තමාට දියණියකට මෙන් සැලකූ බවත්, ඇගේ පක්ෂ සාමාජිකත්වයද ලබාදුන් බවත් කියන අම්රුතා තමා ජයලලිතාට අවසන් ගෞරව දක්වන්නට ගිය මොහොතේ එයින් වළක්වන ලද අතර එතැනදී කලින් කියූ නැන්දනියන් දෙපළ හමුවී තමන්ගේ නියම අනන්‍යතාව හෙළිදරව් වූ බවත් කියා සිටියි. දැන් ඇගේ මේ පෙත්සම හේතුවෙන් ජයලලිතාගේ කෝටි ගණනක් වූ බූදලයට හිමිකම් කියන්නන් අතර මහා ගිනි විජ්ජුම්බරයක් හටගෙන හමාරය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00