2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

විදුලි බලෙන් රේස් යන අලුත්ම වාහන

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

එක්වරක් ආරෝපණය කිරීමෙන් පසු සැතපුම් 500ක් ධාවනය කළ හැකි බව කියන සුපිරි විද්‍යුත් රථයක් කලඑළි බැස තිබේ. ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල් පරිසර හිතකාමී ප්‍රවාහන සේවාවක් ගැන කතාකරන මේ කාලයේ මේ ට්‍රක්රථය පිළිබඳ ආරංචිය සුභාරංචියක්ව තිබේ.

ටෙස්ලා සෙමි නම් වූ මෙය ලෝක සුපතල අනාගත නිෂ්පාදනකරුවා ලෙස ප්‍රකටව ඇති ටෙස්ලා සමාගමේ නිෂ්පාදනයකි. එහි ප්‍රධාන විධායක එෂලොන්මස්ක් එදාමෙදාතුර ඉතා කෙටි කලකින් නිපදවූ ට්‍රක් රථය බවට මෙය හඳුන්වා දුන්නේය. අමෙරිකාවේ සෙමි ට්‍රේලර් ට්‍රක් ලෙස හඳුන්වන මෙය හඳුන්වාදීමත් සමග වඩාත් කාර්යක්ෂම මෝටර් රථයක්ද එළිදක්වන ලදි. එය රේස් කාර් රථයකි.

එක්වරක් ආරෝපණය කළ පසු මේ රථය කිලෝමීටර් 1000 (සැතපුම් 620) ක දුරක් ධාවනය කළ හැකි බව කියයි. තත්ත්පර 4.2ක් වැනි ඉතා කෙටිකලදී පැයට කිලෝමීටර් 100 දක්වා ඉහළ වේගයක් ලබාගත හැකි රථයකි මේ.

ටෙස්ලා සමාගම මෙයට පෙර මොඩ්ල් - 3 ලෙස හැඳින්වූ විද්‍යුත් කාරයක් නිපදවීය. එය හඳුන්වා දී තිබුණේ පොඩි මිනිහාගේ විදුලි කාර්රථය හැටියටය. එය සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මුදලකට මෝටර් රථයක් ලබාදෙන්නට ගත් උත්සාහයේ ප්‍රතිඵලයකි. විද්‍යුත් බලයෙන් දුවන වාහන පරිසර හිතකාමී හරිත ලෝකයක් කරා යන අනාගත ගමනේදී සුවිශේෂී භූමිකාවක් ඉටු කරන්නකි. එහෙත් ඇති ලොකුම අඩුපාඩුව මේවා සඳහා අවශ්‍ය විද්‍යුත් කෝෂ සඳහා වැය කළයුතු මිල තවමත් ඉතා අධික වීමය. ටෙස්ලාසෙමි රථය ආරෝපණය සඳහා අවශ්‍ය විශාල උපකරණද සමාගම නිපදවා තිබේ. ටෙස්ලාට අමතරව වොක්ස්වැගන්, කමින්ස් සහ ඩෙයිම්ලර් කොම්පැණිද විද්‍යුත් රථ නිපදවීමට අතගසා ඇත්තේ එය අනාගත ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති වාහනය බවට පත්වීමට නියමිත නිසාය.