2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ඉරානයත් කොරියාවත් හෙල්ලෙයි

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

ඉරාන, ඉරාක දේශසීමාවේ ඇතිවූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව දැන් 450 ඉක්මවා ඇත. පසුගිය ඉරිදා (නොවැ.12) හටගත් භූ කම්පනය හේතුවෙන් 7,000 තුවාල ලබා ඇති අතර හැත්තෑ දහසකට උන්හිටි තැන් අහිමිව දැඩි ශීතල මැද එළිමහන් පෙදෙස්වල රැඳී සිටිති. නිවාස 15000ක් මුළුමනින්ම සුන්බුන් බවට පත්ව තිබේ.

භූමිකම්පාවෙන් දැඩි හානි සිදුවූ කර්මන්ෂා කඳුකර පළාත වෙත ආධාර සැපයීම සඳහා ඉරාන ආණ්ඩුව දුෂ්කර උත්සාහයක යෙදී සිටී. ඉරිදා ඇතිවූ භූමිකම්පාව ප්‍රබලත්වය 7.3ක් ලෙස සටහන් වූ අතර එතැන් සිට එම කලාපය තුළ පසු කම්පන 200 පමණ හටගෙන තිබේ. මෙම භූමිකම්පාව මේ වසරේ ඇති වූ ප්‍රබලතම භූ කම්පන අතරින් එකකි. එමෙන්ම මේ වසරේ වැඩිම පිරිසක් මරණයට පත්වූ භූමිකම්පාවද මෙයයි.

ඉරාන ආණ්ඩුව විසින් අඟහරුවාදා (නොවැ.14) ජාතික ශෝක දිනයක් ලෙස නම්කරනු ලැබ තිබුණි. මේ අතර භූමිකම්පාව හේතුවෙන් ඉරාකයේ නව දෙනෙකු මරණයට පත්ව තිබේ. කුවේටය, ඊශ්‍රායලය සහ තුර්කිය වෙතද යම් තරම් දුරකට කම්පනය දැනී ඇත.

කොරියාවේ ලොකුම දෙවැනි කම්පනය
අමෙරිකානු ජනාධිපතිවරයා පැමිණ ගියාත් සමගම වාගේ දකුණු කොරියාවේ භූමිකම්පාවක් හටගෙන තිබේ. දකුණු කොරියාවේ පෝහැන්ග් වරාය නගරයේ ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් පනස් හත් දෙනකුවත් තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති.

මැග්නිටියුඩ් 5.4 ලෙස සටහන් වූ භූ කම්පනය හේතුවෙන් 1,500 අධික සංඛ්‍යාවකට උන්හිටිතැන් අහිමි වී තිබේ. ඒ සමග දකුණු කොරියාවේ ජාතික මට්ටමින් පැවැත්වීමට නියමිතව තිබූ උසස් අධ්‍යාපන ඇතුළත් වීමේ විභාගය පළමුවරට කල් දැමීමට බලධාරීහු කටයුතු කළහ.

භූචලන දුර්ලභ වශයෙන් වාර්තාවන දකුණු කොරියාවේ දැනට වාර්තා වී ඇති දෙවන බලවත්ම භූ කම්පනය මෙයයි. අසල්වැසි උතුරු කොරියාව නෂ්ටික අත්හදා බැලීම් සිදුකිරීමේදී භූ චලන ඇතිවන බැවින් භූ කම්පන පිළිබඳ දකුණු කොරියාව දැඩි අවධානයෙන් පසුවෙයි. උතුරු කොරියාව එවැනි අත්හදා බැලීමක් සිදුකර ඇතැයි බොහෝ විට පළමුව දැන ගැනීමට ලැබෙන්නේ ද එවැනි භූ කම්පන මාර්ගයෙනි.

පසුගිය වසරේ ග්යන්ජු නගරය ආසන්නයේ හටගත් භූ කම්පනය ප්‍රබලත්වය 5.8 ලෙස සටහන් වූ අතර එය දකුණු කොරියාවේ මෙතෙක් වාර්තා වී ඇති බලවත්ම භූ කම්පනයයි. නමුත් බදාදා (නොවැ.15) ඇතිවූ භූමිකම්පාවෙන් සිදුව ඇති හානිය පළමු භූමිකම්පාවට වඩා බරපතළය. ගොඩනැගිලි දහසකට වැඩි සංඛ්‍යාවක්, නිවාස සහ මෝටර් රථවලට භූමිකම්පාවෙන් විනාශ වී හෝ හානි සිදුව ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන පරිදි දකුණු කොරියාවේ සේවයේ නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 25,000 ආසන්නය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00