2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

අඟහරු කොල්ලා රුසියාව කළඹයි

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 246

තමන් අඟහරු ලෝකෙන් ආ තැනැත්තෙකු බව කියන විසි හැවිරිදි කොලු ගැටයකු නිසා දැන් රුසියාවේ පමණක් නොව ලෝකය පුරා විශේෂඥයෝ මහත් අලකලංචියකට මැදිව සිටිති. රිස්කා කිප්‍රියානොවිච් හෙවත් බොරිස් නමැති ඔහු තමන් ඉහත ආත්මයක අඟහරු ලොවේ වාසය කළ බවත් තවමත් අඟහරුවන් ඒ ලෝකයේ උමං නගරවල ජීවත්වන බවත් කියන්නට ගෙන ඇත්තේ යාන්තම් මාස 8ක පමණ වයසකදීය.

වෛද්‍යවරියක වන ඔහුගේ මව කියන්නේ බෝරිස්කා දින කිහිපයක් වයස් අතදරුවකුව සිටියදී කිසිදු ආධාරයකින් තොරව කෙලින් හිස ඔසවා බලන්නට සමත් වූ බවය. මාස හතරේදී කතා කරන්නට ගත් ඔහු වයස අවුරුද්දක් වනවිට පත්‍රය කියවන්නටත් තරම් භාෂා ඥානයක් ලබාගත තිබේ. නිතර නිතර අඟහරු ලෝකය හා එහි ජනාවාස ගැනත් අභ්‍යවකාශගාමීන් ගැනත් කතාකර තිබේ. වයස අවුරුදු දෙක වනවිට ඔහු අභ්‍යවකාශයේ චිත්‍රසටහන් තාරකා සිතියම් අඳින්නට වූ අතර ඒවා දුටු විශේෂඥයන්ද මවිතයට පත්ව තිබේ.

බෝරිස්කාට අනුව ඔහු අඟහරු ලෝකයේ ජීවත් වූ කාලයේ අඟහරැවාසීන් අඩි 7ක් පමණ උස්වූ අයයි. ඔවුන් බොහෝමයක් වයස 35 සිටි ඇත්තන්ය. ඒ වනවිට වයසට යාම නැවැත්වීමට තාක්ෂණය සොයාගන තිබූ නිසා සියල්ලෝම 35 වයසේ අමරණීයව සිට ඇත. අඟහරුවන් දෙපිරිසක් අතර ඇතිවූ න්‍යෂ්ටික යුද්ධයක් හේතුවෙන් ග්‍රහ තලය මත සියල්ල විනාශ වී තිබේ. ඒ කාලයේ ඔහු අභ්‍යවකාශ තරණය කර ඇති අතර පොළෝ තලයේ ඊජිප්තුව කරා පැමිණ තිබේ. අඟහරුවන් ආදී ඊජිප්තු වැසියන් හා සබඳතා පවත්වා ඇති අතර ගීසා හි ඇති ෆීනික්ස් ප්‍රතිමාව ඔවුන්ගේ නිර්මාණයකි. බෝරිස්කා කියන්නේ ෆිනික්ස් මත ඇති කිසියම් යාන්ත්‍රික ඇටවුමක් ක්‍රියාත්මක කිරීමෙන් එය බලගැන්විය හැකි බවය. එම ඇටවුම ෆීනික්ස් මුහුණේ කන පිටුපස ඇති බව ඔහු පෙන්වා දෙයි. මේ අන්දමට ෆිනික්ස් පණගැන්වූ දාට මුළුමහත් ලෝක මනුෂ්‍ය ඉතිහාසයම උඩු යටිකුරු වනු ඇති බව ඔහු කියයි. 

ගීසාහි මහා පිරමීඩය තුළ දැනුම් සම්භාරයක් දත්ත ලෙස තැන්පත්ව ඇති බවත්, මෙතෙක් සොයා නොගත් තවත් පිරමීඩයක් තුළ තවත් දැනුම් කෝෂ්ඨාගාරයක් ඇති බවත් ඔහු කියයි. බෝරිස්කාගේ මේ කතා හුදු විද්‍යා ප්‍රබන්ධ හෝ ඔල්මාදකාරයකුගේ කතා යැයි හෝ කියන්නට නොහැක්කේ ඔහු සතු අද්විතීය විද්‍යා තාක්ෂණ දැනුම නිසාය. බෝරිස්කා කියන්නේ තමන් සහ තවත් පිරිසක් මහ පොළොවට ආවේ න්‍යෂ්ටික විනාශයෙන් මේ ග්‍රහතලය බේරාගන්නට බවයි. අඟහරු මත අවුරුදු දස දහස් ගණනකට පෙර එවන් විනාශයක් සිදු වූ අතර ඉන්පසු අඟහරුවෝ උමං තුළ කාබන්ඩයොක්සයිඩ් හුස්ම ගනිමින් වෙසෙන බවයි. දැනට අමෙරිකාව සහ උතුරු කොරියාව අතර ඇවිල යන ප්‍රකෝපකාරී හැසිරීම් සහ වාග් සංග්‍රාම හේතුවෙන් අඟහරු මත ඇතිවූ ආකාරයෙන් න්‍යෂ්ටික විනාශයක් ඇතිවනු ඇතැයි ඔහු සැක පහළ කරයි.

මේ වනවිටත් ආසියාවේ සංචාරයක නිරතව සිටිනා අමෙරිකානු ජනාධිපතිවරයා ජපානයටද ආයුධ විකුණන්නට තැත් කරන්නේ උතුරු කොරියාවට පහර දෙන්නටය. ජපානය ඉහළින් එල්ල කරන උතුරු කොරියානු මිසයිල විනාශ කරන්නට සමත් අමෙරිකානු අවි විශාල තොගයක් ලබා ගැනීමට ජපාන නායකයා බලාපොරොත්තු බව ට්‍රම්ප් කීවේ එමගින් ජපානයට ආරක්ෂාවත්, අමෙරිකානුවන්ට රුකියාවනුත් ලැබෙනු ඇති බවට සහතික වෙමිනි. සම්බාධක මැද න්‍යෂ්ටික අත්හදා බැලීම් කරමින් ලෝක යුද්ධයකට මාන බලන කිම් ජොන් උන් මෙන්ම සිය බලයෙන් උමතුව සිටින ට්‍රම්ප් කිසියම් මොහොතක න්‍යෂ්ඨික අවි පුපුරවා හරිනු ඇතැයි යන භීතිය මේ නිසා ලෝකය පුරා දැන් පැතිර පවතියි. බෝරිස්කා අනතුරැ අඟවන්නේ එවන් දිනෙක සිදුවිය හැකි මහා ලෝක විනාශය ගැනය.

 

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00