2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

රැජිනගේ රාජ්‍ය රහස් කාණු පල්ලේ

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 223

♦ ජෝර්ජ් කුමරු උස්සන්නත් ISIS සැලසුමක්

♦ හිත්රෝ ගුවන් තොටුපළේ ආරක්ෂාව අනතුරේ

ලන්ඩනයේ පාරක් අද්දර වැටී තිබූ තොරතුරු ගබඩාකරන ඉලෙක්ට්‍රොනික උපාංගයක් වන Memory Stick එකක් හෙවත් USB Pen උපාංගයක් සොයාගන්නට ලැබුණු බ්‍රිතාන්‍ය ආරක්ෂක බලධාරීන්හට එලොව පොල් පෙනුණි. මහ රැජනගේ ගමන් බිමන් සිදුකරන ආරක්ෂිත මාර්ග, ඇතුළු ප්‍රධාන පෙළේ ප්‍රභූන්ගේ ආරක්ෂක විධිවිධාන සැලසුම් එහි ඇතුළත්ව තිබූ හෙයිනි. මහරැජන, විදේශීය රාජ්‍යතාන්ත්‍රික ප්‍රභූ පිරිස්, ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් හට හීත්රෝ ගුවන් තොටුපලේ දී සැලසෙන විශේෂ ආරක්ෂාව සහ, ඔවුන් සඳහා යොදාගන්නා ආරක්ෂිත ගමන් මාර්ග පිළිබඳ විස්තරත් ගුවන් තොටුපළ තුළ CCTV ආරක්ෂිත කැමරා ඇස් රඳවා ඇති ස්ථාන ගැන සිතියම්ද මෙහි ඇතුළත්ව තිබී ඇත.
එහි ගැබ්ව තිබූ තවත් රහස් තොරතුරු අතර අති ධ්වනි තරංග මගින් පනවා ඇති ආරක්ෂක බාධක ගැනත්, ගුවන් තොටුපලේ විවිධ ස්ථාන වලින් ඇතුළුවීමට අවශ්‍ය හැඳුනුම්පත් තොරතුරු ආදියත් තිබූ බව වාර්තා වේ.

ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපළේ සිට සැතපුම් දහයක් එපිටන් පිහිටි වීදිය පසෙක වැටී තිබූ මෙම උපාංගය මගියකු විසින් සොයාගනු ලැබ තිබුණි. දින කිහිපයකට පසු මෙහි අන්තර්ගත දේ පිළිබඳව ප්‍රාදේශීය පුස්තකාලයකට ගොස් පරිගණකය භාවිතයෙන් සොයාබැලූ ඔහුට නෙත් අදහාගත නොහැකි මේ රාජ්‍ය රහස් දක්නට ලැබුණි. ඊළඟට ඔහු එය රැගෙන ගියේ ලන්ඩනයේ Sunday Mirror පුවත්පත් කාර්යාලය වෙතටය.

ආරක්ෂක බලධාරීන් දැන් සැක කරන්නේ මේ රහස් සොරාගත් තැනැත්තා ලන්ඩන් ගුවන් තොටුපලට සම්බන්ධ ඉහළ මට්ටමේ පුද්ගලයකු හෝ සේවා සපයන කොන්ත්‍රාත්කරුවකු විය හැකි බවය. දැන් මේ තොරතුරු සොරාගත් පුද්ගලයා පිළිබඳ සෙවිල්ල ඇරඹී තිබේ. ඒ අතර ලන්ඩන් හිත්රෝ ගුවන්තොටුපලට දැඩි ආරක්ෂාව පනවා තිබේ. අමෙරිකාව බලා යන ගුවන් යානාවලට ප්‍රහාරයක් එල්ලවේය යන සැකය මේ ආරක්ෂාව තර කිරීමට තවත් හේතුවකි.

රජ පවුලේ සුරතලාට තර්ජන

මේ අතර රජ පවුලේ සුරතලා වන පුංචි ජෝර්ජ් කුමරුගේ ජීවිතයටද ISIS මූලධර්මවාදීන්ගේ තර්ජනයක් එල්ල වී තිබේ. නොබෝදා බ්‍රිතාන්‍යයේ ඉහළම පෙළේ පාසලක් වන තෝමස් බැටරේසියා පාසලට කුමරු ඇතුළත් කරන්නට යෙදිනි. ඔහු පාසල වෙත යන ඡායාරූපයක් සහ පාසලේ ඡායාරූපයක්ද සහිතව ත්‍රස්තයන්ගේ Dark Web අඩවියේ අනතුරු ඇඟවීමක් කර ඇත්තේ (රජ පවුලේ කියා අත්හැර දාලා නෑ) යනුවෙන් වසරකට පවුම් 18000ක් අයකර උගන්වන මේ පාසලේ ඡායාරූපයක් සමඟ ලියා ඇත්තේ (කලින් ඉස්කෝලේ පටන්ගෙන) හැටියටය. මේ තර්ජනයත් සමඟ බ්‍රිතාන්‍ය ඔත්තු සේවය පැය 24 පුරාම ISIS ප්‍රහාරයක් සිදුවේදැයි ඇස ගසාගන සිටිති. පාසලේ කාර්ය මණ්ඩලය, සෙසු දරුවන් සහ අවට නිවැසියන් දැන් සිටින්නේ මේ තර්ජනය හේතුවෙන් මහත් භීතියකට පත්වය.