2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

මෑන්හැට්න් මාරකය

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

පසුගිය 31දා අමෙරිකානු වේලාවෙන් රාත්‍රී හතට පමණ නිව් යෝක් නුවර පදික හා පාපැදි මංතීරුවක් වෙතට ට්‍රක් රථයක් ධාවනය කරමින් එල්ල කෙරුණ ප්‍රහාරයක් හේතුවෙන් අට දෙනකු මරණයට පත්ව තවත් එකොළොස් දෙනකුට පමණ තුවාල සිදුවිය. ප්‍රහාරකයා උස්බෙකිස්තාන් ජාතිකයකු ලෙස පසුව හඳුනාගනු ලැබුණි.

උස්බෙකිස්තාන් ජනාධිපති ෂව්කත් මිර්සියෝයෙෆ් විසින් සිය විදේශ අමාත්‍යංශයේ වෙබ් අඩවියේ පළකරනු ලැබ ඇති ප්‍රකාශයක් මගින් නිව්යෝර්ක් ප්‍රහාරය සම්බන්ධයෙන් බලවත් කනගාටුව පළකරයි. (මෑන්හැට්න්) කලාපයේදී එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණවලට තමන් සම්පූර්ණ සහයෝගය දෙන බව උස්බෙකිස්තානය පවසයි. දැනට හඳුනාගනු ලැබ ඇති ආකාරයට ප්‍රහාරය එල්ල කරනු ලැබ තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සරණාගතභාවය ලැබ සිටි සෙෆුලෝ සයිපොෆ් නමැත්තෙකි.

නිව්ජර්සි, පැටර්සන් සහ ෆ්ලොරිඩාහි ජීවත් වී ඇති විසි නව හැවිරිදි සැකකරු උස්බෙකිස්තානයේ සිට අමෙරිකාවට සංක්‍රමණය වී ඇත්තේ 2010 වසරේය. ඔහු මින් පෙරත් වැරදි ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලට ලක් වූවෙකි.
ප්‍රහාරකයා නිව්යෝර්ක් නුවර පදික හා පාපැදි මංතීරුවක් මතට ට්‍රක් රථයක් ධාවනය කිරීමෙන් අනතුරුව ව්‍යාජ ගිනි අවි ලෙළවමින් ට්‍රක් රියෙන් පිටතට පැමිණ ඇති අතර එම පුද්ගලයාට වෙඩි තැබූ පොලිසිය ඔහු අත්අඩංගුවට ගනු ලැබුණි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පුද්ගලයාට මරණ දඬුවම ලබාදිය යුතු බවට තදබල ප්‍රකාශයක් කර තිබුණි. රෝහල්ගත කරනු ලැබ සිටින ප්‍රහාරකයා දැඩි රැකවරණ මැද ප්‍රතිකාර ලබමින් සිටී.

ඔහුගේ රථයේ තිබී හසු වූ කුඩා සටහනක ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පිළිබඳව දැක්වෙන බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පවසයි. 2001 සැප්තැම්බර් ප්‍රහාරයෙන් අනතුරුව නිව්යෝර්ක් නගරයේ එල්ල කෙරැණු පළමු ත්‍රස්ත ප්‍රහාරය මෙයයි.