2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

ආසියාවට කොකා පෙන්නූ ඉන්දියාවේ අග්නි 5

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129

 

පසුගිය සඳුදා පැය හතරක් ලංකාවේ ගුවන් ගමන් තහනමක් පැනවිණි. අසල්වාසී ඉන්දියාවේ ප්‍රබලතම මිසයිලය එදින පරීක්ෂාවට ලක්කරනා හෙයිනි. ලංකාවට පමණක් නොව ආසියා කලාපයේ බොහෝ රටවලට මේ මිසයිල අත්හදා බැලීම එක්තරා අන්දමක තර්ජනයක් විය. එය වැඩියෙන්ම බලපෑවේ චීනයටයි. ඉන්දියාවේ ප්‍රබලතම මහාද්වීපික මිසයිලය වන අග්නි 5 උපයෝගී කර ගනිමින් චීනයේ ඈත උතුරු කෙළවරටද පහර දිය හැකි බව මේ අත්හදා බැලීමෙන් සනාථ කර තිබුණි. චීනය ඉලක්ක කරන්නට තරම් ප්‍රබල මිසයිලයක් නිපදවීමේ සිහිනය 1983 තරම් ඈතදී ඉන්දියාවේ අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි තුළ ඇතිවූවකි. ඈ එය බාරදුන්නේ ඉන්දියාවේ මිසයිල මිනිසා ලෙස හැඳින්වෙන ආචාර්ය අබ්දුල් කලාම් හටය. දැන්, ඉන්දිරාද නැත. ආචාර්ය කලාම්ද නැත. නමුත් ඉන්දියාව ඒ අරමුණ ජයගෙන හමාරය. තමන් කලාපයේ ලොක්කා බව ඔවුන් තහවුරු කර හමාරය. කොටින්ම මේ ආසියා කලාපයටම කොකා පෙන්නා හමාරය.

ඉන්දිරා ගාන්ධි මැතිනිය ඝාතනයට වසරකට පෙර එනම් 1983 දිනෙක ඇය ආචාර්ය කලාම් හමුවීමට හයිද්‍රාබාදයේ පිහිටි එකල ඉන්දියානු ආරක්ෂක කටයුතු පර්යේෂණායතනය ලෙස හැඳින්වූ PRDL වෙත පැමිණියාය. එවකට චන්ද්‍රිකා උඩුගුවනට යැවීමට අවශ්‍ය රොකට් ගැන පර්යේෂණ කරමින් සිටි කලාම් හමුවූ ඇය දැන් එහි සාර්ථකත්වය ගැන විමසුවාය. මතක තබාගන්න, මුලින් ඇය මේ වැඩපිළිවෙළ තහනම් කර තිබුණි. ආචාර්ය කලාම් ඇතුළු පිරිස සිය වැඩපිළිවෙළේ වර්ධනය ගැන පැහැදිලි කරද්දී අසල තිබූ ලෝක සිතියමක් ඉන්දිරා ගාන්ධි මැතිනියගේ නෙත ගැටුණි. එය වෙත ගිය ඇය ආචාර්ය කලාම්ගෙන් මෙසේ ඇසුවාය.

කලාම්, සිතියම දිහා බලන්න. නැගෙනහිර පැත්තට වෙන්න තියෙන අන්න අර තැන බලන්න. කවදද මේ පර්ෙය්ෂණායතනය එතැනට යවන්න පුළුවන් මිසයිලයක් හදන්නේ? සිතියමේ ඈ පෙන්වාදී තිබුණේ කිලෝමීටර් 5000කට එපිටින් වූ රටකි. එය චීනයයි.

ආචාර්ය කලාම් අභියෝගය භාරගත්තේය. ඔහු බාරගත් අභියෝගය සැබෑවක් කරන්නට පසුගිය සඳුදා ඉන්දියානු ආරක්ෂක උපාය පර්ෙය්ෂණ සහ සංවර්ධන ආයතනයේ DRDO විද්වතුන් පිරිස සමත්වූහ. ඉන්දියානු මිසයිලය අග්නි 5 නිරැපද්‍රිතව ඉලක්කය කරා ගොස් අබ්දුල් කලාම් දූපතේ සිට කිලෝමීටර් 5000ක් දුර ගමන් කරමින් ඉන්දියානු සාගරයට පතිත විය.

මේ මිසයිලය ගමන්ගත හැකි දුර ගැන ඉන්දියා රජය තත්ත්වය අඩුවෙන් වාර්තාකර ඇති බව මුලින්ම කීවේ චීනයයි. ඉන්දියානු අග්නි 5 සැබැවින්ම කිලෝමීටර් 8000ක් දුර ගමන් කරවිය හැකි බවත් එමගින් ලෝකයේ අඩක් දුර ඇති රටවල්වලට න්‍යෂ්ඨික ප්‍රහාර එල්ල කළ හැකි බවටත් චීනය අනතුරැ ඇඟවූයේය. පාකිස්තාන මාධ්‍යවලින්ද ඉන්දීය මිසයිලයේ සාර්ථකත්වය ගැන පුන පුනා අඬා වැටෙනු දක්නට ලැබුණි. අග්නි 5 සාර්ථකත්වයත් සමඟ ඉන්දියාව ලෝකයේ න්‍යෂ්ඨික බල ප්‍රහාරයක් සිදුකළ හැකි මහාද්වීපික මිසයිල හිමි ලෝකයේ ප්‍රබලයන් අතරට එක්ව සිටියි.
චීනය සහ ඉන්දියාව අතර කලාපීය වශයෙන් මුදුණා වීමට පවතින බල අරගලයේදී ඉන්දියානු න්‍යෂ්ඨික මිසයිල වැඩපිළිවෙළේ සාර්ථකත්වය තමන් ලත් බරපතළ පරාජයක් ලෙස ඔවුන් පිළිගෙන තිබේ. අමෙරිකාවේ බලය ආසියා කලාපය තුළ නිල නොවන ලෙස නියෝජනය කරන්නේ ඉන්දියාවයි. රුසියානු හිතැති චීනය තමන් ආසියාවේ බලවතා යැයි පාරම්බාන්නා බවට පත්ව සිටිනවා පමණක් නොව සිය ආර්ථික අඬු බඬු විහිදුවා අමෙරිකාවද නතු කරගෙන සිටියි. මේ මොහොතේ ඉන්දියාවද න්‍යෂ්ඨික බලයෙන් තමන්ට තර්ජනය කළ හැකි දුරකට ඒම ගැන චීනය සිටින්නේ නොසතුටෙනි. තමන්ගේ බලය ගැන වැඩිදුර ලොකුවට නොසිතිය යුතු යැයි චීනයේ ප්‍රමුඛ පුවත්පතක් වන Global Times මේ ගැන අනතුරු අඟවා තිබුණි. චීනයේ ඕනෑම තැනකට ප්‍රහාර එල්ල කරන්නට හැකියාව දැන් ඉන්දියාවට ඇතත් සමස්ත යුද බලය අතින් චීනය පරදවන්නට හැකියාවක් නැති බවට එය පාරම්බා තිබුණි.

පාකිස්තාන බලධාරීහු ඉන්දියාවේ න්‍යෂ්ටික මිසයිල හැකියාව ලබාගැනීම ගැන කලබලව සිටියේ නැත. එහි හොඳ නරක ඉන්දියාවට බටහිර බලවතුන් හා බේරාගන්නට ඉඩහැර ඔවුහු මුනිවත රුක සිටියහ. විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා තිබුණේ ඉන්දියාව නිසි පරිදි ඔවුන්ගේ මිසයිල අත්හදා බැලීම ගැන ගිවිසුමට අනුකූලව කලින් දැනුම් දී තිබුණු බවය.

බ්‍රිතාන්‍යය ඉන්දියාවේ ජයග්‍රහණය ගැන සතුට පල කර තිබුණි. චීනය, රුසියාව, ප්‍රංශය, අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ඇතුළත් න්‍යෂ්ටික විශිෂ්ටයන්ගේ කල්ලියට දැන් ඉන්දියාවත් ඇතුළත් වී ඇතැයි කලින් ඉන්දියාවේ බලය හිමිකරගෙන තිබූ ඔවුන් ප්‍රකාශ කර තිබුණි. අමෙරිකාව මෙන්ම නේටෝවද ඉන්දියාවේ න්‍යෂ්ටික මිසයිල වැඩපිළිවෙළ හික්මීමකින් යුතු, සහ සාමයට තර්ජනයක් නොවන තාක්ෂණික ස්වයංපාලනයක් සහිත, ලෝකයේ වෙනත් රටවල විවේචනයට ලක් නොවන අන්දමේ සාර්ථකත්වයක් ලෙස හඳුන්වා තිබුණි. ඉන්දියාව න්‍යෂ්ටික ගිවිසුම් කඩ නොකරන විශ්වාසය දිනා සිටින රටක් ලෙස ලෝකයේම පිළිගැනීමට ලක්ව ඇති බවද ඔවුන් කියා තිබේ.

එසේ වුවද චීනයත් සමඟ ඇති කලාපීය සීතල යුද්ධයේදී තමන්ටද දැන් කරට කර සිටින්නට හැකි බවට ඉන්දියාව අග්නි 5 ඔස්සේ අනතුරු අඟවා හමාරය. අග්නි 5 මගින් එකවර ස්ථාන ගණනාවකට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමට මෙන්ම උඩුගුවනේ සිට තර්ජන එල්ලකරන චන්ද්‍රිකා පවා වනසා දැමීමට හැකිය. එහි ප්‍රහාරක එල්ලය ඉන්දිරාගේ සිහිනය මෙන් කෙලින්ම අරමුණු කර ඇත්තේ චීනයයි. එමගින්, ඉන්දියාව මේ කලාපයටම කොකා පෙන්වා හමාරය.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00