2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

වසර 75කට පසු මුලින්ම හවායි ගිය ජපන් අගමැති

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 05:28 62

දෙවන ලෝක සංග්‍රාමයේ පළමුවරට ගිනි ඇවිලී ගිය බිමක් ලෙස සැලකෙන පර්ල් වරාය නැරඹීමට ජපාන අග්‍රාමාත්‍ය ෂිංෂෝ අබේ අමෙරිකාවේ හවායි දූපත් වෙත ගියේය. ජපාන අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය එම භූමියට ප්‍රහාර එල්ල කිරීමෙන් 75 වසරකට පසු ජපන් නායකයෙකු එහි සිදුකළ පළමු සංචාරය ලෙස ඉතිහාසයට එක්වෙයි.

1941 වසරේ අමෙරිකානු හමුදා කඳවුරු පිහිටි හවායිහි පර්ල් වරායට ජපානය දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළ අතර ප්‍රහාරයෙන් සෙබළුන් 2,300කගේ ජීවිත අහිමි විය.

ප්‍රහාරයේදී මියගිය සියලුදෙනා වෙනුවෙන් මෙන්ම අමෙරිකානු ජනතාව වෙනුවෙන් ද යළි මෙවන් යුද්ධයකට නොයන බවට ලෝකවාසීන් සියලුදෙනා ඉදිරියේ මම නොබිඳෙන ප්‍රතිඥාවක් දෙනවා. 

මේ ජපාන ආග්‍රාමාත්‍යවරයා වසර 75කට පෙර සිය රටේ ගිනි අවිවලින් ගිනිබත් කළ පර්ල් වරාය භූමියේ සිට ලොවට දුන් ප්‍රතිඥාවයි. එහෙත් මියගිය අය වෙනුවෙන් සමාව අයැද සිටි ජපන් අග්‍රාමාත්‍යවරයා කිසිවිටෙකත් ප්‍රහාරය සම්බන්ධයෙන් ජපන් රජය වෙනුවෙන් සමාව ඇයැද සිටියේ නැත. මෙම ඓතිහාසික අවස්ථාවට ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ද එක්ව සිටියේය.

එදිරිවාදිකම් ඉවත දමා යළි සබඳතා ගොඩනගා ගැනීමට අමෙරිකාව ගන්නා උත්සාහයට සිය ප්‍රශංසාව හිමිවන බවද මෙහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා පැවසීය. ජපන් අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේ නිරත වූයේ, පර්ල් ප්‍රහාරයේ 75 වැනි සැමරුමෙන් සති තුනකට පසුවය.

අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ද සිය දේශය වෙනුවෙන් දිවිපිදූ සෙබළුන් සිහිපත් කරමින් පැවසුවේ, මෙහි ජලය තවමත් ඔවුන් වෙනුවෙන් කඳුළු සලන බවය. කෙසේ වෙතත් බරක් ඔබාමා එහිදී පවසා ඇත්තේ, ජපාන අග්‍රාමාත්‍යවරයා දිගුකරන ඒ මිත්‍රත්වයේ දෑත් උණුසුම් ලෙස පිළිගැනීමට අමෙරිකාව සූදානම් බවය.