2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

තරු ගැටුමෙන් අභ්‍යවකාශ පොළෝ තලේ මහ අවුලක්!

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 343

  • ගැටුම වුණේ වසර මිලියන 13කට කලින්: තරංග කම්පන අපට දැනුෙණ් ඊයේ පෙරේදා
  • මහ පොළොව තරම් රත්තරන් තොගයක් අභව්‍යවකාශයට
  • ලංකාවේ දකුණේ ආලෝකමත් පිපිරීමට කිසිම සම්බන්ධයක් නෑ

දුර ඈත අභ්‍යවකාශයේ තරු දෙකක් ගැටුණේය. හයිඩ්‍රා නමැති තාරකා පන්තියේය. ආලෝක වර්ෂ මිලියන 130ක් දුරින් පිහිටි මේ තාරකා පන්තියේ පැවැති න්‍යුට්‍රෝන් තරු 2ක් මෙලෙස ගැටීමට ලක්ව තිබුණි. ඇත්තටම කිවහොත් එය සිදුවුණේ මෙයට වසර මිලියන 130කටත් වැඩි කාලයකට පෙරය. නමුත් ඒ ගැටුම හේතුවෙන් හටගත් කම්පන තරංග මෙන්ම ගුරුත්ව බල අප වෙත ළඟාවුණේ ඊයේ පෙරේදාය. නමුත් අපේ රටේ සමහර මාධ්‍ය මේ තරු ගැටුම ලොකු අවුලක් බවට පත්කර ගෙන තිබුණි. තරු ගැටුම නිසා පෘතුවියේ ලොකු වෙනසක් වන බවටත්, එයින් නිකුත්වූ ගුරුත්ව බල කම්පන තරංග ලෝකය හොල්ලා දමන බවටත් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළහ.

ඒ මදිවාට මේ ඊයේ පෙරේදා ලංකාවේ දකුණුකරයට කඩාපාත් වූ ගිනිබෝල උල්කාෂ්මය ද මේ තරු ගැටීම හා සම්බන්ධ කිරීමට ඇතැම්හු උත්සාහ දැරූහ. ඒ අනුව විද්‍යාත්මක පදනමකින් තොරව විද්‍යාත්මක කරුණු සරල කරමින් ජනතාව තක්බීර්කර තමන්ගේ ගොඩ වැඩිකරගන්නට හදන මාධ්‍ය හැසිරීමට මේ ගැටීම යස එළිදරව්වක් ද විය.

මේ ඈත දුර අභ්‍යවකාශයේ සිදුවූ න්‍යුට්‍රෝන තරු ගැටුම නිසා මහපොළව තරම් බර රත්තරන් කන්දක් අභ්‍යවකාශයට මුදාහැරිණි. තවත් ප්ලැටිනම්, යුරේනියම්, ඊයම් බඳු බැර ලෝහ ගොන්නක් ද අභ්‍යවකාශයට එක්වූයේය. එසේම තරු ගැටුමකින් ප්‍රතිඵලය වන ගුරුත්ව කම්පන තරංග දහරාවක් මුල්වරට නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබුණි. අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාද නියමයන් සහ විශ්වය ප්‍රසාරණය වෙමින් ඇති බවට පලව ඇති මතවාද තවත් මනාව තහවුරු කරගන්නට මේ ගැටුම ආධාරයෙකි. න්‍යුට්‍රෝන තරුවක අන්තර්ගතව ඇති ද්‍රව්‍ය තේ හැන්දක් ගතහොත් එහි බර පෘතුවිය මතදී ටොන් බිලියන 6ක් පමණ වේ. එයින්ම මේ තරුවල ඝණත්වය සහ අධික ශක්තිය තේරුම් ගත හැකිය.

මේ න්‍යුට්‍රෝන තරු දෙක එකිනෙක ගිලීයාම හෙවත් අපිට තේරෙන ලෙස ගැටුමට ලක්වීමේ අතීත කම්පනයේ දෝංකාරය අප වෙත ඊයේ පෙරේදා ළඟාවීමත් සමඟ තාරකා විද්‍යා ක්ෂේත්‍රය නව දැනුම් සම්භාරයකින් සන්නද්ධ වීමට නියමිතය. 

මේතාක් කලක් රත්රන් ඇතුළු බැර ලෝහ නිපදවෙන්නේ කොහේද යන ගැටලුව තිබුණි. ඒවා න්‍යුට්‍රෝන තරු ගැටුමේ ප්‍රතිඵලයක් බව අනුමාන කර තිබුණි. දැන් ඒ බව ඇස් පනාපිටම ඔප්පු වී තිබේ. මෙතෙක් කලක් විශ්වය තුළ ගලායන ගුරුත්වාකර්ෂණ බල දහරාවක් නිර්මාණය කරන්නේ යැයි හඳුනාගෙන තිබුණේ කළුකුහර වෙතිනි. නමුත් දැන් අලුත් ප්‍රභවයක් හඳුනාගන්නට ලැබී තිබේ. සැතැපුම් 12ක විශ්කම්භයෙන් යුතු මේ න්‍යුට්‍රෝන ස්කන්ධයන් දෙක එකිනෙක ගැටීමෙන් ඇතිවූ ගුරුත්ව බල කම්පන දහරාව පැතැලි ගල්කැටයක් ජල තලයක් ස්පර්ශ කරමින් ඇදී යන ලෙස විසිකළ විට පැන පැන ඇදී යන්නාක් මෙන් විශ්වය පුරා සෑම දිසාවටම ආලෝක වේගයෙන් ගමන් ගනීයි. අමෙරිකාවේ ලුසියානාවේ ඇති ගුරුත්ව තරංග නිරීක්ෂණගාර දෙක මගින් පළමුවරට ඊයේ පෙරේදා මේ අතීතයේ සිට ආ ගුරුත්ව කම්පන තරංග හඳුනාගන්නට යෙදුණි. විශ්වයේ ආරම්භය, පරිනාමය, පැවැත්ම මෙන්ම අවසානය පිළිබඳ නව රහස් තොරතුරු රැසක් හෙළිකර ගන්නට මේ ගුරුත්ව කම්පන තරංග පිළිබඳ අධ්‍යනය අවස්ථාව ලබාදේ.