2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

හැටපැන්න මෝදිට මංගල සීනු හැඬවෙයි

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 568

♦ මෝදිගේ තනිකම ගැන දුක හිතී බඳිනතුරු සත්‍යග්‍රහයක

♦ මෝදිට තෑගි දෙන්න ඉඩමක් විකුණන්නත් ලෑස්තියි

♦ දෑවැද්දට කෝටි 2ක්ම

“අගමැති මෝදිට උදව් ඕනෑ. එයත් මං වගේම තනිකඩයා.” එයා රට වෙනුවෙන් හැමදේම කරනවා. මං උත්සාහ කරන්නේ එයා වෙනුවෙන් මට කළ හැකි දේ කරන්න.” ඉන්දියාවේ රාජස්ථාන් පළාතේ ජායීපූර්වල ඇති ප්‍රසිද්ධ සිහිවටනයක් වන “ජන්තර් මන්තර්” අසල කාන්තාවක් අගමැති මෝදි තමන් හමුවට එනතුරු නොනැගිටින බව කියා දින නියමයක් නොමැති කාලයක් බිම ඉඳගෙන විරෝධයක් පෑමට ආරම්භ කර තිබේ. ඇය සිය විරෝධය දියත්කර ඇත්තේ තනිකඩයකු ලෙස දිවිගෙවන අගමැති මෝදි විවාහ කර ගැනීමේ අභිලාෂය සහිතවය.

හතළිස් හැවිරිදි ඕම් ශාන්ති ෂර්මා නම් වූ මේ කත කලින් විවාහ වූ කෙනෙකි. ඒ විවාහයෙන් ඇයට දැන් අවුරුදු විස්සක නාඹර වයසේ දියණියක්ද සිටියි.

“මා දන්නවා මට මිනිස්සු හිනා වෙනවා කියලා. ඒත්, මෝදිතුමා මාව හම්බ වෙන්න එනකල් මං නෙමෙයි මෙතනින් නැගිටින්නේ.” ඕම් ශාන්ති ජන්තර් මන්තර් අසල සිය තාවකාලික විරෝධතා පලස මත ඉඳ ගනිමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

ඇයට මුදල් හදල් අඩුපාඩුවක් ඇති අයෙක් නොවන බවත් ජායිපූර්වල හොඳ ඉඩකඩම් ගේදොර සහිත සරුසාර තැනැත්තියක් බවත් වාර්තාවේ. මෝදිගේ තනිකම තදින්ම හිතට දැනුණු නිසා තමන් ඔහු හා විවාහ වන්නට සිතූ බව මේ කත කියන්නීය. “අගමැතිතුමාගේ බිරිය එතුමා ළඟ නෑ. රට දියුණු කරන්න කොච්චර වෙහෙසෙනවාද? මේ වෙලාවේ ස්ත්‍රියාවක් එයාගේ තනියට ඉන්ඩ ඕනෑ නේද?” ඕම් ශාන්ති, ඕං ඔහොම කියමින් බිම ඉඳගෙන සිටින්නේ තමන්ට ඕනෑවටත් වඩා ඇති ඉඩම්වලින් එකක් විකුණා මෝදිගේ හිත දිනා ගන්නට හැකි තෑග්ගක් මිලදී ගන්නා බවට දිවුරමිනි. දෑවැදි හැටියට ඉන්දියානු රුපියල් කෝටි 2ක් ගෙවන්නටද ඇය සූදානම්ය.

මේ කාලය තුළදී මග අයිනේ පොදු වැසිකිළියකින් සිය ශාරීරික අවශ්‍යතා ඉටුකරගන්නා ඇය මේ විරෝධතා කාලය තුළදී ආහාර ගන්නේ ගුරු ද්වාර පල්ලියෙනි. ඇය බියට පත්ව සිටින්නේ ලෝක ප්‍රසිද්ධ සිහිවටනයක් වන ජන්තර් මන්තර් අසල තමන්ගේ තාවකාලික විරෝධතා භූමියෙන් පළාතේ හරිත අධිකරණය තමන් ඉවත් කරන්නට කටයුතු කරාවිය කියාය. තමන් මෝදි වෙත විවාහ යෝජනා ඉදිරිපත් කරමින් ලිපි තොගයක්ම යැවූ බවත් ඒවාට කිසිදු ප්‍රතිචාරයක් නොමැති කළ, අන්තිමේදී තමා බිම ඉඳගන්නට සිතූ බවත් මේ හිතුවක්කාර මනාලිය කියා තිබේ. නරේන්ද්‍ර මෝදි වයස අවුරුදු 17ක්ව තිබියදී තමන්ට මාස කිහිපයක් බාල වූ යසෝදා නැමැත්තිය විවාහ කරගත් අතර යෝජිත විවාහයක් වූ එයින් ඔහු වැඩිකලක් නොගොස්ම සමුගත්තේය.

ඕම් ශාන්ති හොඳ ශරීර සෞඛ්‍යයකින් යුතු තැනැත්තියක් බවත් ඇයට මානසික ආබාධයක් නැති බවත් ඒ අතර වාර්තා වී ඇත. තමන් වැඩිහිටියන්ට උපකාර වීමට ගරු කිරීමට කුඩා කළ සිටම ඉගෙන ගෙන ඇති බවත් රටට වැඩක් කරන මේ වැඩිහිටි පුද්ගලයාට ඇති ගෞරවය නිසාම ඔහුගේ තනිකම මකා දැමීම සිය එකම අරමුණ වන බවත් ඕම් ශාන්ති කියන්නීය. නමුත්, මෝදිගේ පැත්තෙන් මේ හිතුවක්කාර මංගල්ලයට තාමත් ප්‍රතිචාරයක් ලැබී නැත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00