2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ඔක්ස්ෆර්ඩ් ගිය මලාලා

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 298

තමන්ගේ රටේ ලදැරියන්ගේ අධ්‍යාපනය රැකගැනිමට කතා කළ නිසා ප්‍රසිද්ධියේ වෙඩිකන්නට සිදුවූ මලාලා යුසුෆ්සායි පසුගියදා ඔක්ස්ෆර්ඩ් සරසවියට ගියාය.

“මීට අවුරුදු 5කට කලින් මම වෙඩි කෑවා. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් මා නැගූ හඬ නිහඬ කරන්න හැදුවා. අද මම ඔක්ස්ෆර්ඩ් සරසවියේ පළමු දේශනයට සහභාගි වෙනවා.” ඔක්ස්ෆර්ඩ් යාමට ලැබුණු සතුටින් ඉපිල ගිය මලාලා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණි.

ලෝකයේ දේශපාලන ලොක්කන් බිහිකරන සරසවියක් ලෙස හඳුන්වන ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනය ඔස්සේ මලාලාද තවත් ලෝක නායිකාවක් බවට පත්වන ලකුණු පහළ වී තිබේ. ඇගේ ප්‍රියතම දේශපාලන චරිත වන පාකිස්තානයේ බෙනාසීර් බූතෝ, බුරුමයේ අවුන්ග් සාන් සූකි, හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මෙන්ම එරට හිටපු විපක්ෂනායක එඩ් මිලිබැන්ඩ්ද ඔක්ස්ෆර්ඩ් නිෂ්පාදනයන්ය. මලාලා බ්‍රිතාන්‍යයට කැඳවා ඇයට එහි පුරවැසිභාවය පිරිනැමුවේ ඩේවිඩ් කැමරන්ය. ඇයට කැනඩා පුරවැසිභාවයද හිමිය.

නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින මලාලා යුස්ෆ්සායි 20 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇයට ඔක්ස්ෆර්ඩ් සිරසවි වරම් හිමිවූයේ පසුගිය අගෝස්තුවේය. ඒ ඇය දක්ෂ ලෙස උසස් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුවය. ඇය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට පිවිසුණේ දර්ශනවේදය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව හැදෑරීමටය.

මලාලා අද එක්සත් ජාතීන්ගේ බාලිකා අයිතීන් සුරැකීම වෙනුවෙන් විශේෂ නියෝජිතවරියක ලෙස කටයුතු කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී (මලාලා පදනම) යන නමින් පදනමක් ද පිහිටුවා ඇත. ඒ අසරණ දැරියන්ට පිහිටවීම සඳහාය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00