2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

අමෙරිකාව ඊශ්‍රායලය යුනෙස්කෝව අතහරියි

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 184

ඇමෙරිකා එක්සත් ජනපදය තමන් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයෙන් හෙවත් යුනෙස්කෝවෙන් ඉවත්වන බව ප්‍රකාශ කළේය. ඇමෙරිකාවේ මෙම පියවර සදාචාරාත්මක නිර්භීත පියවරක් ලෙස හඳුන්වා දුන් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු තමන්ද ඇමෙරිකාව සමඟ එක්වන බව කීවේය.

එක්සත් ජනපදය එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ (යුනෙස්කෝව) ඊශ්‍රායල් විරෝධීව යමින් පක්ෂග්‍රාහීව ක්‍රියාකරන බවට චෝදනා කරමිනි. අමෙරිකාවේ ඉවත් වීම 2018 දෙසැම්බරයේ සිට බලාත්මක වනු ඇත.
බටහිර ඉවුර අල්ලා ගනු ලැබීම සහ ජෙරුසලමේ පුදබිම්හි සිදු කරන ඊශ්‍රායල් ක්‍රියාකාරකම් 2016 වසරේ ඉදිරිපත් කරන ලද යුනෙස්කෝ යෝජනාවක් මගින් දෝෂ දර්ශනයට ලක් කරනු ලැබ තිබුණි.

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගොඩ නැගීමත් සමඟ ඊට අනුබද්ධව ආරම්භ කරන ලද (යුනෙස්කෝ) සංවිධානයේ මූලස්ථානය ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටා ඇති අතර එහි සාමාජික රාජ්‍යයන් සංඛ්‍යාව 195 කි. 

සංවිධානයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව යළි එහි නියෝජනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා අධීක්ෂණ කණ්ඩායමක් පැරිස් නගරයට යවන බව කියා තිබේ.

එක්සත් ජනපදයේ ඉවත්වීම යුනෙස්කෝව විසින් විග්‍රහ කරනු ලැබ තිබෙන්නේ “එක්සත් ජාතීන්ගේ පවුලට” සිදුවූ අලාභයක් හැටියටය. එසේම එය “බහුපාර්ශ්වීය සබඳතා කෙරෙහි අත් වූ හානියක්” වන බවත් යුනෙස්කෝ ප්‍රකාශනයේ දැක්වෙයි. “යුනෙස්කෝ” සංවිධානයේ ප්‍රධානී ඉරිනා බොකෝවා අමෙරිකාව ගත් තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එම ඉවත්වීම “බෙහෙවින් කටගාටුදායක” සිදුවීමක් බව කියා සිටියාය.

I සුගත් පී. කුලතුංගආරච්චි