2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

සල්ලාල නගරය සල්ලං කළ Vegas වෙඩි ප්‍රහාරය

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 346

“තාත්තා කළ දේ නොකළොත් නොට්ටිගේ පුතා” යැයි පැරැණි කතාවක් තිබේ. අමෙරිකාවේ ලාස්වේගාස්වල ලස්සෙට කොඩි දමා ජීවත්වූ ස්ටිවන් පැඩොක්හට මේ බව සිහිවූයේ තමන්ට හැට පැන්නාටත් පසුවය. ඉතින්, බැංකු බිඳින්නෙකු හා මොළේ විකාර වූ හාදයකු ලෙස හඳුනාගන ඇති ලොකු පැඩොක්ගේ පොඩි පුතා වන ස්ටිවන් පැඩොක් තාත්තාගේ අඩිපාරේ යන්නට හිතුවේ වයස 64 ත් පැන්නාට පසුවය. එහි ප්‍රතිඵලය වූයේ අමෙරිකාවේ මෑත යුගයේ වාර්තා වූ දරුණුතම සමූල ඝාතනයයි.

අමෙරිකාවේ ලාස් වේගාස් නගරය හැඳින්විය හැක්කේ සල්ලාලයන්ගේ නගරය ලෙසටය. නැතිනම් ලෝකයේ පවතින සුප්‍රසිද්ධම විනෝදකාමී නගරය හැටියටය. ලක්ෂ හයකට ආසන්න ජනතාවක් ජීවත්වන මෙහි පැය විසි හතර පුරා සංගීත නාදය පැතිරේ. ලෝකයේ සුපිරිතම කැසිනෝ තුළ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් නිදැල්ලේ හුවමාරු වෙයි. 1905 දී ඇරඹුණු මේ නගරය තුළ ලෝකයේ ඇති සියලු සුරසැප විඳීමට ඉඩ සැලසී තිබේ. මේ නිසාම එය හැඳින්වෙන තවත් නමක් වන්නේ (පාපයේ නගරය) ලෙසටය. රිසි රිසි දේ මසුරන් දී ලබාගන්නට හැකි මේ පාපයේ නගරයේ ලාස් වේගාස් පටුතීරය ලෙස හැඳින්වෙන සැතැපුම් හතරක් දිගැති මංතීරය දෙපස හොලිවුඩ් චිත්‍රපටවලටත් නැගුණු ලෝකයේ සුඛෝපභෝගීතම A3 ඩයමන්ඩ් 5 කාණ්ඩයේ හෝටල, ඉහළම පෙළේ කැසිනෝ සූදුහල්, රාත්‍රී සමාජශාලා, ගණිකා නිවාස ඇතුළු ලෝකයේ සුපිරිතම පාපි මධ්‍යස්ථාන ගොනුව තිබේ.

ඊජිප්තුවේ මහා පිරමීඩය (ලක්සොර්) ආකෘතිය සහිතව තැනූ හෝටලය මෙන්ම අයිෆල් කුලුණේ අනුරුවද වැනීසියේ මහා ඇළමාර්ගය ඇතුළු බොහෝමයක් මේ තුළ ප්‍රතිනිර්මිතය. මැන්ඩලේබේ කැසිනෝ හෝටලයද එවැන්නකි. ඔක්තෝබර් පළමුවැනිදා, එනම් පසුගිය ඉරිදා රාත්‍රියේ හරියටම 10.08ට මැන්ඩලේබේ හෝටලයේ 32 වැනි තට්ටුවේ කවුළුවෙන් යක්ෂයා මේ පාපී නගරයට එබී බැලුවේය. එතැන් සිට විනාඩි 11ක කාලයක් යක්ෂයාගේ අණසකට යටත්ව මහා ලේ ගංඟාවක් ගලා ගියේය. ඒ යක්ෂයා හිතේ කිසිදු දුකක් නොමැති කෝටිපතියකු ලෙස මහා මන්දිරවල පහස ලැබූ ස්ටීවන් පැඩොක්ය.

මැන්ඩලේබේ කැසිනෝවේ සිට මීටර් 400 ක් දුරින් පිහිටි මහා වේදිකාවක සංගීත සංදර්ශනයක් පැවැත්වෙමින් තිබුණි. ගායක ජෙසන් ඇල්ඩීන් අවසන් ගීය ගයන්නට වේදිකාව මතට නැගුණේය. 22000 ක් වූ මහා විනෝදකාමීන් පිරිසක් සංගීතයෙන් මන්මත්ව සිටියහ. එක්වරම අහසින් උණ්ඩ වරුසාවක් ගලා ආවේ මේ සියල්ලන්ටම පාපී නගරයේ පව් පල දෙවන්නට මෙනි. විනාඩි 10 ක් ඇතුළත ක්‍රියාත්මක වූ පොලීසිය 10.12 වන විට මෙහි කඩා වැදෙන විට 59 ක් මියගොස් තිබුණි. 489 ක් රෝහල්ගත කරන්නට සිදුවිය.

ප්‍රකෝටිපතියකු මෙන්ම සූදු සෙල්ලක්කාරයකු වන ස්ටිවන් පැඩොක් මැන්ඩලේබේ හෝටලයේ 32 වැනි තට්ටුවේ පිහිටි යාබද කාමර දෙකක් කුලියට ගෙන තිබේ. ඔහු තමන්ගේ 62 හැවිරිදි පෙම්වතියට දින කිහිපයකට පෙර සමු දී තිබූ අතර ඇයට පිලිපීනයට යන්නට ඩොලර් ලක්ෂයක් ලබා දී තිබේ. ඒ සියල්ලට පෙර පසුගිය වසරේ ඔක්තෝබරයේ දී ඔහු රයිෆල් 33 ක් මිලදී ගෙන තිබුණි. ඒ අතර ඩොලර් 600 ක් වටිනා අධිබල රයිෆලයක් ද තිබී ඇත. නමුත් ප්‍රහාරයට එය යොදාගෙන නොමැති බව වාර්තා වේ. මේ කියන ම්ලේච්ඡ ඝාතනය සඳහා අවශ්‍ය විකාරරූපී මනස ඔහු තුළ සැකසෙන්නට ඇත්තේ ඒ සමයේ දී බවට දැන් සැක පහල වී තිබේ.

ඉතිහාසගත මිනිස් බිලි සමූහයක් ලබාගත් පැඩොක් තමන්ටද අන්තිමේ වෙඩි තබාගෙන ඇත. නමුත් පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන් සැක කරන්නේ ඔහු මෙම ප්‍රහාරයෙන් පසු පලායාමට සූදානමින් සිටි බවටය. පසුගිය 28 වැනිදා වෙන්කරගත් තමන්ගේ කාමරය තුළට ස්වයංක්‍රීය රයිෆල ඇතුළු ආයුධ 23 ක් ඔහු ගෙනවිත් තිබේ. ප්‍රහාරයෙන් පසුව ඔහුගේ වාහනය තුළ තිබී තවත් අමතර උණ්ඩ වට 1600 ක් සහ පුපුරණ ද්‍රව්‍ය රාත්තල් 50 ක්ද, සොයාගන්නට යෙදිණි. එහෙයින්ම මේ ප්‍රහාරය මනාව සැලසුම් කළ එකක් බව සනාථ වී තිබේ. ඔහු සිය ප්‍රහාරය විනාඩි 10ක කාලයක් තුළ නොකඩවා එල්ල කළේ කාමර දෙකේ බිඳ දමන ලද ජනේල තුළිනි. ඔහුගේ කාමර දොරේ යතුරු හිලෙන් අභ්‍යන්තරය පෙනෙනා ලෙසත් ආහාර ගෙන ආ ට්‍රොලියකත් අමුණා තිබූ ස්වයංක්‍රිය කැමරා දෙකක් සොයාගන්නට ලැබුණි. දින තුනකට පෙර දෙදෙනකු සඳහා අවසන් වරට ඔහු ආහාර ඇණවුම් කර තිබුණි. අමෙරිකානු ඉතිහාසයේ වැඩිම ගණනක් බිලිගත් වෙඩි ප්‍රහාරය විනාඩි දහයක් තුළ එකදිගට වැස්සක් සේ නිරායුධ මිනිසුන් මත පතිත කළ පැඩොක් යාබද කාමරය ඔස්සේ ඔහු වළක්වන්නට දිව ආ ආරක්ෂක නිලධාරියෙක්ට ද වෙඩි තැබීය. 

ආරක්ෂක නිලධාරියා බිලිගත් ඒ උණ්ඩය පිට වී තත්ත්පර 60 ක් ගතවන්නට පෙර, එනම් පළමු වෙඩි හඬ ඇසී මිනිත්තු 70 ක් ඇතුළත පොලිස් ප්‍රහාරක කණ්ඩායම් හෝටලයට කඩා වැදුණහ. ඒ වනවිට පැඩොක් තමන්ට ද මරණය තෝරාගෙන තිබුණි.

පැඩොක්ට අයත් සුඛෝපභෝගී නිවෙසක් වෙයි. එහි තිබී තවත් ආයුධ ගොන්නක් හමුව තිබේ. අඩි හයේ හතරේ මහත දෙහෙත මේ හාදයා බොහෝ නිහතමානීව තමන් හමුවට ආ බව එම නිවස විකුණූ තැනැත්තා කියයි. ඩොලර් ලක්ෂ 3කට වැඩි මුදල ඉක්මණින් අතින් ගෙවා නිවස ලබාගෙන තිබේ. තමන්ගේ ආදායම් මාර්ගය කැසිනෝ සූදුව බවත් ඩොලර් දස ලක්ෂයක් වසරකට වැය කරන බවත් ඔහු කියා තිබේ. නමුත් මේ නිවුනු හාදයා තමන්ගේ නිවස දෙස අසල්වැසියන් බලනවාට අකමැති බව කියා නිවස ඉදිරිපිට ආරක්ෂක ආවරණයක් ඉදිකරගත් බව වාර්තාවේ. “මට මිනිස්සු පේන්න බෑ. මං ඔවුන් දිහා බලන්නේ නෑ. මං දිහා බලනවට කැමතිත් නෑ.” මේ පැඩොක් කී කතාවකි. ඔහුගේ බර අසාමාන්‍ය ලෙස පසුගිය කාලයේ අඩුවී තිබේ. වියවුල් බව අපිළිවෙල ජීවිතයට එක්ව තිබේ. පෙම්වතිය ඔහු හැරයාමටද මේ වෙනස හේතුවී තිබේ. ඔහු තුළ ඇතිවූ වෙනස තාමත් ප්‍රහේළිකාවකි. 

අයිඑස්වරු මේ ප්‍රහාරය තමන්ගේ හුදෙකලා චණ්ඩියෙකුගේ තවත් වැඩක් ලෙස වෙබ් අඩවි ඔස්සේ කයිවාරු ගසා තිබුණි. එහෙත්, FBI ඇතුළු ආරක්ෂක අංශ එය පිළිගන්නේ නැත. අමෙරිකානු මෑත ඉතිහාසයේ වාර්තාගත වූ දරුණුතම වෙඩි ප්‍රහාරයට හේතුව පැඩොක්ගේ පියාගෙන් ඔහු ලද මානසික විකෘතිභාවයද? දැන් පරීක්ෂණ පැවැත්වෙන්නේ ඒ ගැන ද තදින්ම සලකා බලමිනි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00