2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

භූතෝ දියණියෝ පාකිස්තානය කළඹති

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 343

ඝාතනයට ලක්වූ පාකිස්තාන නායිකා බෙනාසීර් භූතෝගේ බාල දියණිය වන, අසීෆා භූතෝ සර්දාරි සිය මවගේ ඝාතනය සහ ඝාතකයා පිළිබඳ සිය හඬ අවදි කළාය. එහිදී ඇය, එම ඝාතනයේ වගකීම, හිටපු ජනාධිපති මුෂාරෆ් විසින් සිය පියා වන අසීෆ් අල් සර්දාරි වෙත පවරමින් කතා කිරීම දැඩි ලෙස විවේචනයට ලක්කළාය.

මෙයට දින දෙකකට පෙර හිටපු ජනපති මුෂාරෆ් සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝ පණිවුඩයක් පළ කරමින් කියා සිටියේ බෙනාසීර් භූතෝගේ මරණයට වගකිව යුත්තේ අන් කිසිවෙක් නොව ඇගේ සැමියා වන හිටපු නායක අසීෆ් අල් සර්දාරිම බවයි. එම මරණයෙන් වැඩි දේශපාලන වාසියක් ලබාගෙන රටේ නායක ධුරයට පත්වූයේ ඔහු බව එහිදී මුෂාරෆ් චෝදනාත්මක මුඛයෙන් කියා තිබුණි. එසේම සර්දාරි සහ තෙරික් ඊ තලේබාන් සංවිධානයේ නායක බයිතුල්ලා මෙෂුඩ් අතර සමීප සබඳතාවක් පැවති බවටද එහිදී ඔහු චෝදනා එල්ල කළේය.

එයට පසුදිනම බෙනාසීර්ගේ බාල දියණිය සිය ට්විටර් ගිණුම හරහා පවසා තිබුණේ මෙම ඝාතනයට ප්‍රසිද්ධිය ලබාදෙන නමුත් ඝාතකයාට පලායාමට ඉඩ සලසන මාධ්‍ය තමන්ට අප්‍රසන්න බවයි. “වින්දිතයාට දෝෂාරෝපණය, ලැජ්ජයි මුෂාරෆ්....” යැයි ඇය සඳහන් කළාය.

බෙනාසීර්ගේ වැඩිමල් දියණිය වන භක්තවාර් ද ට්විට් මාලාවක් මගින් මුෂාරෆ්ගේ ප්‍රකාශය හෙළා දැක තිබේ. “මුෂාරෆ් ටෝක් ෂෝ වලට සහභාගි වීම නතර කර අධිකරණයට පැමිණිය යුතුය. බියසුල්ලා!”

“මුෂාරෆ් ගොල්ෆ් ගැසීම නතර කර උසාවි ආ යුතුය. මුෂාරෆ් අත්අඩංගුවට ගනු!” යැයි ඇය සඳහන් කර තිබුණි.
පාකිස්ථානයේ ප්‍රථම කාන්තා අගමැතිනිය වන බෙනාසීර් භූතෝ අති මහත් ජනතා ප්‍රසාදයක් සමගින් දෙවරක්ම අගමැති ධුරයට පත්වූවාය. 2007 දෙසැම්බර් 27 වැනිදා ඇය ගමන්ගත් රථ පෙරහැර රාවල්පිණ්ඩි නගරයේදී වෙඩි උණ්ඩ සහ බෝම්බ ප්‍රහාරයකට මැදි වූයේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නියැලී සිටින අතරවාරයේය. එහිදී බෙනාසීර්, පාකිස්තාන ජනතා පක්ෂ නායකයා ඇතුළු 20 දෙනෙකුට ආසන්න පිරිසක් මරණයට පත්වූහ.

1999 වසරේදී ලේ නොහැලෙන හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත්වූ 74 හැවිරිදි හිටපු ජනපති ජනරාල් පර්වියස් මුෂාරෆ් පසුගිය වසරේ සිට ජීවත්වන්නේ ඩුබායි නගරයේය. බෙනාසීර් භූතෝ ඝාතන නඩුවට අවශ්‍ය පුද්ගලයෙකු ලෙස චෝදනා ලබා සිටින අතරවාරයේ ඔහු මෙසේ විදේශ ගතවූයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය බවට අධිකරණයෙන් අවසර ලබාගැනීමෙන් පසුවය.

නමුත් අධිකරණය මග හරිමින් නැවත සිය රට නොපැමිණි ඔහු “අධිකරණයෙන් පලා යන්නෙක්” වශයෙන් පසුගිය මාසයේදී බෙනාසීර් භූතෝ ඝාතන නඩුව විභාග කරන ත්‍රස්ත විරෝධී අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙයට සමාන්තරව පාකිස්ථානය තුළ තිබෙන ඔහුගේ දේපල රාජසන්තක කරන ලෙසටද අධිකරණය නියම කර තිබේ.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00