2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

උතුරු කොරියාවට චීනයත් එරෙහි වෙයි

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

චීනයේ පිහිටුවා ඇති සියලුම උතුරු කොරියානු සමාගම් වසා දමන ලෙස චීන බලධාරීන් එම සමාගම්වලට දැනුම් දී තිබේ. චීනය කියා සිටින්නේ උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන් විසින් පනවනු ලැබ ඇති සම්බාධකවලට අනුව තමන් ක්‍රියාකරන බවය.

මේ අනුව ලබන ජනවාරි මාසය වනවිට චීනය තුළ ඇති උතුරු කොරියානු සමාගම් සියල්ල වසා දැමෙනු ඇත. එමෙන්ම චීන-උතුරු කොරියානු හවුල් ව්‍යාපාර ද වසා දැමීමට බලකෙරෙනු ඇත.

උතුරු කොරියාවේ ප්‍රධාන මිත්‍ර රාජ්‍යය වූ චීනය දැනටමත් එරට සමඟ පැවති රෙදිපිළි වෙළඳාම අත්හිටුවා ඇති අතර ඛනිජ තෙල් අපනයනය ද සීමාකර තිබේ. චීනය මෙම පියවර ගෙන ඇත්තේ උතුරු කොරියාව සිදුකළ හයවැනි න්‍යෂ්ඨික අත්හදා බැලීමට එරෙහිව ජාත්‍යන්තරය දක්වන ප්‍රතිචාරයට සහාය දැක්වීමක් ලෙසිනි.

උතුරු කොරියාවට එරෙහිව ගෙන ආ අලුත්ම තහංචි මාලාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කළේය. චීනය ද එහි සාමාජිකයෙකි. උතුරු කොරියාවට එරෙහි නව සම්බාධක සම්මත වූයේ සැප්තැම්බර් 11 වැනිදාය. එදින සිට දින 120ක් ඇතුළත චීන දේශසීමාව තුළ පවතින සියලුම උතුරු කොරියානු සමාගම් වසා දැමෙනු ඇති බව චීනයේ වාණිජ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද ලෝකයෙන් හුදෙකලා වී සිටින උතුරු කොරියාවේ ප්‍රධානතම වෙළඳ ගනුදෙනුකරුවා චීනයයි. මෙම ගනුදෙනු නතර වුවහොත් උතුරු කොරියාවේ විදේශ විනිමය ආදායමට බලවත් පහරක් එල්ල වනු ඇත.

අමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර වාග් සංග්‍රාමය උත්සන්න වීම සහ උතුරු කොරියාව විසින් දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම් සිදුකිරීම හේතුවෙන් කලාපීය අර්බුදය එන්න එන්නම උණුසුම් වී තිබේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00