2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

ලෝකයේ පළමු න්‍යෂ්ටික මාරකය වැළැක්වූ මිනිසා

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

ලෝකයේ පළමු න්‍යෂ්ටික යුද්ධය ඇතිවන්නට තිබු‍ණේ 1983 සැප්තැම්බර් 26 වැනිදාය. එදා න්‍යෂ්ටික ප්‍රහාර සම්බන්ධයෙන් අනතුරු අඟවන සෝවියට් මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය මත හදිසි අනතුරු ඇඟවීමක සංඥාවන් ප්‍රදර්ශනය වන්නට විය. 

එදින එහි කාර්ය භාර නිලධාරියාව සිටියේ සෝවියට් රතු හමුදාවේ නිලධාරියෙකුව සිටි ස්තනිස්ලාව් පෙත්රෝව්ය. ඔහු එම හදිසි අනතුරු ඇඟවීම් පිරික්සද්දී පරිගණක තිරය මත දුටුවේ අමෙරිකා එක්සත් ජනපදයේ සිට රුසියාව කරා වේගයෙන් ඇදී එන මිසයිල පෙළකි. නමුත් ස්තනිස්ලාව් එය ව්‍යාජ අනතුරු ඇඟවීමක් බව තේරැම් ගත්තේය. එනිසා ඔහු එම සිද්ධිය ඉහළ නිලධාරීන්ට වාර්තා නොකිරීමට ප්‍රවේශම් විය.

ස්තනිස්ලාව් පෙත්රෝව් එදා ඉක්මන් තීන්දුවක් ගත්තේ නම් ලෝකය පළමු න්‍යෂ්ටික යුද්ධයට මුහුණ දෙන්නේ එදිනය. එසේ නම් ඔබ අද මම දකින මේ ලෝකය පවතින්නේ නැත. සෝවියට් දේශයේ බලපැවැත්වුණ දැඩි මාධ්‍ය වාරණය හමුවේ ඔහුගේ එම ක්‍රියාව එදා ලෝකයට අනාවරණය නොවුණත්, සෝවියට් පාලනය බිඳවැටී සීතල යුද සමයේ පුවත් අනාවරණය වීමත් සමඟ ස්තනිස්ලාව් පෙත්රෝව් වීරයෙක් බවට පත් විය.

ලොව පළමු න්‍යෂ්ටික යුද්ධය වැළැක්වීමේ ගෞරවය හිමි එම සෝවියට් රතු සෙබළා පසුගිය මැයි මාසයේ දිවියෙන් සමුගෙන තිබුණි. නමුත් ඔහුගේ මරණය ද මාස කීපයක් ලොවට රහසක්ව තිබිණ. ස්තනිස්ලාව් පෙත්රෝව් දිවියෙන් සමුගන්නා විට 77 වැනි වියේ පසු විය.

“එල්ලවෙමින් පවතින මිසයිල ප්‍රහාරයක් පිළිබඳව සියලු සංකේත පරිගණක තිරය මත ප්‍රදර්ශනය වුණා. මට ඒ මොහොතේ කරන්න තිබුණේ එක දෙයයි. ඒ ටෙලිෆෝනය අරගෙන මට ඉහළින් සිටි අණ දෙන්නන්ට කතා කිරීම. ඒත් මට පුටුවෙන් නැඟිටගන්න බැරිවුණා. ඒ වෙලාවේ මට දැනුණේ මම රත්වෙච්ච තාච්චියක් උඩ වාඩිවෙලා ඉන්නවා වගෙයි.”

එදා ඔහු ගත් පියවර වුණේ යුද හමුදා මූලස්ථානයේ ඒ මොහොතේ නිල රාජකාරියේ නිරතව සිටි නිලධාරියා අමතමින් පරිගණක පද්ධතියේ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් ප්‍රදර්ශනය වෙන බව පමණක් එම නිලධාරියාට දැනුම් දීමයි. ස්තනිස්ලාව් පෙත්රෝව් ගත් තීන්දුව වැරදි එකක් වී නම් විනාඩි කීපයක් ඇතුළත සෝවියට් දේශය න්‍යෂ්ටික ප්‍රහාරයකට ගොදුරුවන්නට තිබුණි.

අනිත් අතින් සෝවියට් සංගමය අනුමාන න්‍යෂ්ටික ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරමින් සිය මිසයිල මුදාහැරියේ නම් 1983 සැප්තැම්බර් 26 වැනිදා ලෝකය පළමු න්‍යෂ්ටික යුද්ධයේ විනාශය වෙත යන්නට තිබුණි. එපමණක් නොව එය තුන්වැනි ලෝක මහා සංග්‍රාමයේ ආරම්භය ද විය හැකිව තිබුණි.

වළාකුළු මත පතිත හිරු එළිය අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල් හැටියට සෝවියට් චන්ද්‍රිකා මගින් වැරදි ලෙස හඳුනාගෙන ඇති බව එම සිද්ධිය සම්බන්ධයෙන් පසුව පැවැත්වුණ පරීක්ෂණයක දී හෙළිදරව් විය. සිය රැකියාවෙන් සමුගන්නා විට ලුතිනන් කර්නල් ශ්‍රේණියේ සිටි ස්තනිස්ලාව් පෙත්රෝව් පසුගිය මැයි මාසයේ 19 වැනිදා දිවියෙන් සමුගෙන ඇත. එයින් මාස හතරකට පමණ පසුව ඔහුගේ මරණය ලෝකය දැනගත්තේ එක්තරා දුරකතන පණිවුඩයකට පින් සිදුවන්නටය.

ස්තනිස්ලාව් පෙත්රෝව් සම්බන්ධයෙන් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරමින් ඔහු පිළිබඳව අප මෙතෙක් කියැවූ කතාව පළමු වරට ලෝකයට හෙළිකරන ලද්දේ ජර්මන් ජාතික සිනමාවේදී කාල් ෂුමාර්කර් විසිනි. පසුගිය සැප්තැම්බර් හත් වැනිදා (කාල්) සිය මිතුරා වූ (ස්තනිස්ලාව්ට) දුරකතන ඇමතුමක් ගත්තේ ඔහුට උපන් දින සුබපැතුම් පිරිනැමීමටයි. එහෙත් දුරකතනයට පිළිතුරු සපයන ලද්දේ ස්තනිස්ලාව් නොව ඔහුගේ පුත් දිමිත්‍රි පෙත්රෝව් විසිනි. ස්තනිස්ලාව් පෙත්රෝව් දිවියෙන් සමුගත් පුවත ලෝකය දැනගත්තේ එම දුරකතන පණිවුඩයෙනි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00