2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

සෙනසුරුට හාදු දී කැසිනි දිවි නසාගනියි

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 266

වසර 13 ක් පුරා සෙනසුරු ග්‍රහයා ඇසුරේ කාලය ගෙවූ ජාත්‍යන්තර කැසිනි අභ්‍යවකාශ යානය මේ සතියේ සිය මෙහෙවර අවසන් කළේ සියදිවි නසාගනිමිනි. සෙනසුරුගේ විශාල චන්ද්‍රයකු වන ටයිටන් ඔස්සේ සඳුදා කිලෝමීටර 120,000 ක් පියාසර කළ කැසිනි යානය සෙනසුරු ග්‍රහයා මත ගැටීමට අවශ්‍ය ගමන් මඟ සකසා ගනු ලැබිණි.

ඒ අනුව, සිකුරාදා (සැප්තැම්බර් 15) සෙනසුරුගේ ගැටීමෙන් කැසිනිගේ අවසන් ගමන සිදු විය. සෙනසුරු වෙත ඇදීයන ගමනේ දී කැසිනි කැබලිවලට බිඳී විසිරේ. එහි උපාංග දියවී ග්‍රහයාගේ වායු අතර විසිරී යනු ඇත.

වසර 13ට පෙර සෙනසුරු වෙත පැමිණි තැන සිට එම ග්‍රහයා මෙන්ම එහි සිත්ගන්නා සුළු වළලු අධ්‍යයනය කිරීම සඳහා කැසිනි යානය විවිධ පිහිටීම් සකසා ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි විශාලතම චන්ද්‍රයා වන ටයිටන්ගේ ගුරුත්වය උපයෝගී කර ගනිමිනි.

සඳුදා අවසන් වරට කැසිනි යානය ටයිටන් චන්ද්‍රයා වටා සැරිසැරීම නාසා ආයතනය විසින් හඳුන්වනු ලැබුවේ සමුගැන්මේ හාද්ද ලෙසිනි. සඳුදා ග්‍රිනිච් වේලාවෙන් 19:04ට අවසන් වරට ටයිටන් පෘෂ්ඨයට කැසිනි සමීප වූ විට ලබාගත් ඡායාරූප හා වෙනත් විද්‍යාත්මක දත්ත අඟහරුවාදා පෘථිවියට එවන ලදී.

කිලෝමීටර 5,150ක පළලින් යුත් ටයිටන් චන්ද්‍රයා විමර්ශනය කිරීම කැසිනි ක්‍රියාන්විතය ලද විශිෂ්ට ප්‍රගතියකි. කුඩා රොබෝවක් වන හුයිගන්ස්, කැසිනි විසින් ටයිටන් මත රඳවනු ලැබුවේ 2005 දීය. ගලායන ද්‍රව මීතේන්වලින් මෘදු බවට පත් වටකුරු පාෂාණ කැටවල අනගි සේයාරූ ඒ වෙතින් ලැබිණි. ටයිටන්ගේ තැඹිලි පැහැ අහසින් වැටෙන හයිඩ්‍රොකාබන් වැසි උතුරුදෙස ඇති විශාල මුහුදු වෙත ගලයි.

යමහල් ලෙස අනුමාන කෙරුණු ස්ථාන මෙන්ම ප්ලාස්ටික් වැනි වැලි නිධි පිළිබඳව ද කැසිනි තොරතුරුලබා දුන්නේය. සිකුරාදා තෙක් හැකි සෑම අවසන් විද්‍යාත්මක නිරීක්ෂණයකම තොරතුරු ලබාගැනීමට උත්සාහ කෙරෙන බව එක්සත් රාජධානියේ ඉම්පීරියල් කොලේජ්හි කැසිනි විද්‍යාඥ මිෂෙල් ඩොර්ටි පැවසුවාය.

සිකුරාදා සෙනසුරු සමඟ ගැටීමට පෙර අවසන් පැය තුන ඇතුළත දී අභ්‍යවකාශ යානයෙන් ලබාගත් සියලු දත්ත, එහි අන්තර්ගතව ඇති දෘඩ ස්මරණය මඟහැර කෙළින්ම පෘථිවියට සම්ප්‍රේෂණය කරනු ඇත. සෙනසුරුගේ අන්තරීක්ෂයට කැසිනි ඇතුළු වීමෙන් අනතුරුව ඒ සමඟ සබඳතාව පවතිනු ඇත්තේ තත්ත්පර කිහිපයක් පමණි. ග්‍රිනිච් වේලාවෙන් 11:55ට පමණ සංඥා අත්හැරීමට පෘථිවිය අපේක්ෂා කරයි.

කැසිනි මෙහෙවර අපට ගොඩක් දේ ඉගැන්වුවා. අන්තිම තත්ත්පරය දක්වාම අපට ඉගැන්වීමට කැසිනි ඉටුකරන මෙහෙය සැලකුවොත් ඒක පෞද්ගලිකව මට සතුට ගෙන දෙන දෙයක්. යැයි වොෂිංටන් අගනුවර නාසා මූලස්ථානයේ කැසිනි වැඩසටහන් විද්‍යාඥ කර්ට් නීබර් පවසයි.

කැසිනි - හුයිගන්ස් මෙහෙවර, නාසා ආයතනය මෙන්ම යුරෝපා සහ ඉතාලි අභ්‍යවකාශ එජන්සිවල ඒකාබද්ධ ක්‍රියාන්විතයකි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00