2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

තුර්කි - රුසියන් හතුරෝ මිතුරු වෙති

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 236

දේශපාලනයේදී සදාකාලික මිතුරෝද සතුරෝද නැත. මේ කියමන සනාථ කරන නාටකයක් දැන් ලෝක දේශපාලන වේදිකාව මත දිග හැරෙමින් තිබේ. මෙතෙක් කලක් එදිරිවාදීන්ව සිටි තුර්කිය හා රුසියාව අත්වැල් බැඳගැනීමත් සමඟිනි. අමෙරිකාව ජර්මනිය ප්‍රමුඛ බටහිර රාජ්‍ය සමඟ තිබූ සමීප සබඳතා අත්හැර මෙතෙක් සතුරෙක් ලෙස සිටි රුසියාව වෙත තුර්කිය යොමුව ඇත්තේ අවි ගනුදෙනුවක් සඳහාය. කොටින්ම තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගැනීමටය.

ඒ අනුව තුර්කිය තම හමුදා සඳහා S 400 වර්ගයේ ගුවන් යානා නාශක මිසයිල රුසියාවෙන් මිලදී ගැනීමේ ගිවිසුමකට අත්සන් තබා ඇත. ඩොලර් කෝටි දෙසීය පනහක පමණ යැයි සැලකෙන එම මිසයිල ගනුදෙනුවට අදාළ මූලික ගෙවීමක් දැනටමත් සිදුකර අවසන් බව තුර්කි ජනාධිපති රෙසිප් තායිප් එර්දෝගාන් කියා තිබේ. නේටෝ යුද හවුලේ සාමාජික රටක් වන තුර්කිය විවාදයට තුඩුදෙන පියවරක් ගනිමින් මෙලෙස රුසියාවෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් මිලදී ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව විරෝධය පළකර ඇත.

තුර්කිය නේටෝ යුද හවුලේ දෙවැනි විශාලතම යුද හමුදාව සහිත රාජ්‍යයයි. අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපය සමඟ සිය සබඳතා පසුගිය අවධිය තුළ අමිහිරි අතට හැරීමත් සමඟ තුර්කිය රුසියාවට කෙමෙන් ළංවන්නට විය. එක්සත් ජනපදය විසින් YPG සිරියානු කුර්දි කැරලිකරුවන්ට යුද ආධාර දෙනු ලැබීම සම්බන්ධයෙන් තුර්කියේ එර්දොවාන් පාලනය විරෝධය පළකර තිබේ. එම සිරියානු කුර්දි කැරලිකරුවන් සහ තුර්කි කැරලිකරුවන් අතර සම්බන්ධතා පැවැත්ම ඊට හේතුවයි.

S 400 මිසයිලයකින් කිලෝමීටර් 400ක දුර ප්‍රහාරයක් එල්ල කළ හැකි අතර එකවර ඉලක්ක අසූවකට පහර දිය හැකි බව රුසියාව පවසයි. සිරියානු තුර්කි දේශසීමාවේ දී තුර්කිය විසින් 2015 දෙසැම්බර් මාසයේ රුසියානු Su-24 යානයක් වෙඩි තබා බිම හෙළනු ලැබීමෙන් පසු රුසියාව S 400 මිසයිල සිරියාවේ ලටකියා (Latakia) අසල ස්ථානගත කරනු ලැබ ඇත.

එම සිද්ධියත් සමඟ රුසියාව සහ තුර්කිය අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ආරම්භ වුණත් රුසියානු ජනාධිපති පුටින් සමඟ පැවති එම අරෝව සමනය කරමින් සමාදාන වීමට ජනාධිපති එර්දොගාන් පසුව කටයුතු කළේය. ඇතැම් බටහිර හිතවතුන් නියමුවන් රහිත ප්‍රහාරක යානා වෙනුවෙන් මහා මුදල් සම්භාරයක් ඉල්ලා සිටින බව අප්‍රසාදයෙන් යුතුව සඳහන් කළ තුර්කි ජනාධිපතිවරයා තමන්ට සරිලන මිලකට ගත හැකි රුසියානු අවි වෙත නැමුරු වූ බව කියා තිබුණි.

අපේ රටේ රැකවරණය සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අප සතුයි යනුවෙන් ඔහු කියා තිබේ. තුර්කිය රුසියානු මිසයිල මිලට ගැනීමට පියවර ගනු ලැබ තිබෙන්නේ ඇමෙරිකාව සහ ජර්මනිය ඔවුන්ගේ මිසයිල ආරක්ෂණ පද්ධතීන් තුර්කියෙන් ඉවත්කරගනු ලැබීමෙන් පසුවය.

Patriot මිසයිල ආරක්ෂණ පලිහ තුර්කි - සිරියානු දේශසීමාවේ ස්ථානගත කරන මෙන් තුර්කිය 2015 වසරේ නේටෝ සගයන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි. 2016 අසාර්ථක කුමන්ත්‍රණය පිටුපස සිටින බවට අන්කාරා බලධාරීන් විසින් චෝදනා කරනු ලබන ෆතුල්ලා ගුලේන් (Fethullah Gulen) තමන්ට භාරදෙන මෙන් තුර්කිය ඉල්ලා සිටියත් එක්සත් ජනපදය එම ඉල්ලීම ඉටුනොකිරීම දෙරට අතර සබඳතා අමිහිරි වීමට හේතුවක් වී ඇත. එසේම ජර්මන් - තුර්කි සබඳතා ද පිරිහෙමින් පවතී.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00