2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

රාජකීය බිකිණි වන්දිය

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 215

තමන්ගේ තුන්වැනි දරු සුරතලයත් බලන්නට මඟබලමින් සිටිනා බ්‍රිතාන්‍ය රජ පවුලේ මේ දිනවල ලෝකයේ වැඩිම කතාබහට ලක්ව සිටින රාජකීයයන් වන කේට් සහ විලියම් යුවලට බරසාර කාසි මල්ලක් ලැබී තිබේ. ප්‍රංශයේ පළවන Closer - හෙවත් සමීප රූප නමැති සඟරාවෙනි. යුරෝ ලක්ෂයකටත් වඩා වැඩි මේ මුදල යුරෝ මිලියන 1.5ක් වන්නට නියමිත මූලික මුදලින් සුළු කොටසකි. එය ලංකාවේ මුදලින් කෝටිය ඉක්මවන්නකි. (1,84,66,977) මේ බරසාර සල්ලිමල්ල ලැබීමට හේතුවූයේ උඩුකය නිරුවත් බිකිණි කතාවකි. එය වසර 6ක් පැරැණි වූවකි.

වසර 2012 දිනෙක දකුණු ප්‍රංශයේ ප්‍රොවෙන්ස් පළාතේ හිටපු මාග්‍රට් කුමරියගේ පුත්‍රයාට අයත් තැනක කේට් කුමරිය සහ විලියම් කුමරු හිරු රැස් නාන්නට සැරැසී සිටින ඡායාරූප රැසක් ඉහත කී සඟරාවේ පළවිය. එය ලොව පුරා උණු කැවුම් සේ අලෙවි වූයේ OH, My God! යන හෙඩිමද සමඟිනි. එහි දක්වා තිබුණේ කේට් මිඩ්ල්ටන් උඩුකය නිරුවත්ව බිකිණියකින් සැරැසී සිටින අයුරුය.

තවත් සමීප ඡායාරූපයක් පෙන්වා දුන්නේ ෙක්ටි කුමරිය විලියම් කුමරු‍ෙග් සිරුරේ ආලේපනයක් තවරන ආකාරයයි. ලෝකය පුරා මේ ඡායාරූප පතුරුවා හැරීමෙන් සිය පුද්ගලිකත්වය විනාශ කරමින් සිදුකළ අපහාසය වෙනුවෙන් හොඳ පාඩමක් උගන්වන්නට රාජකීය යුවළ තීන්දු කළේය. රාජකීයයන් පසුපස ලුහුබඳින පැපරාසින් කෙරෙහි විලියම් තුළ කොහොමටත් තිබුණේ නුරුස්සන බවකි. ඒ සිය මව ඩයනාගේ මරණයට පැපරාසින්ගේ සම්බන්ධයක් තිබූ හෙයිනි. ජනමාධ්‍ය ඕපාදූපවලට හොඳ පාඩමක් උගන්වන්නට ඔහු තදින්ම සිතට ගෙන තිබුණි. ඒ අනුව වසර 6ක කාලයක් දිග ඇදී ගිය නඩු විභාගයකින් පසුව Closer සඟරාවට ප්‍රංශ ඉතිහාසයේ මෙබඳු වරදකට ලබාදුන් ඉහළම වන්දි මුදල ගෙවන්නට සිදුව තිබේ. මේ නඩුවෙන් සඟරාවේ කතුවරුන් සහ ප්‍රකාශකයන්ටද අවුරුද්දක් හිරබත් කෑමට තීන්දුවක් ලැබෙන්නට තිබුණි. නමුත් ඔවුන්ට නිදහස ලබාදීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා ඔවුන් එකිනෙකාට යුරෝ 50,000ක දඩයක් නියම විය. ඡායාරූප ගෙන තිබූ ශිල්පීන් තිදෙනාටද යුරෝ 1000 සිට 3000 දක්වා දඩ නියම කර තිබුණි.

සඟරාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පෙන්වා දී තිබුණේ මේ යුවළ සිය පෞද්ගලික අවස්ථා අලෙවිකර ගැනීමේ අරමුණින් එළිපිට හිරුරැස් නාමින් සිටි බවය. එසේ වුවද රාජකීය යුවළට තුන්වැනි දරුවාත් ලැබෙන්නට ඉන්නා බව නිවේදනය වී දින තුනක් ඇතුළත ඔවුන්ගේ තර්කය සාධාරණීයකරනය කරමින් ඉහත කී තීන්දුව ප්‍රංශ අධිකරණයෙන් නිකුත් කැරිණි. මේ බරසාර මුදල තමන් ලබාගන්නේ මාධ්‍යවල සීමාව ඔවුන්ට මතක් කර දීමට බව කියා ඇති රාජකීය යුවළ ඉහත කී සුවිශාල මුදල සමාජ සත්කාර සේවාවන්ට ලබාදෙන බව ප්‍රකාශ කර තිබුණි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00