2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ලෝකය ගිනි තබා කිම් ජොන් උන් බාල් නටයි

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 211

උතුරු කොරියාවට එරෙහිව ඉවසීම හමාර බව ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ කියා තිබුණි. තමන් සතුව හයිඩ්‍රජන් බෝම්බයක් ඇති බවත් එය අමෙරිකාවට එරෙහිව කිසියම් මොහොතක භාවිතා කිරීමට පසුබට නොවන බවත් උතුරු කොරියාව අනතුරු අඟවා තිබේ. උතුරු කොරියාව දිගින් දිගටම ලෝක ප්‍රබලයන්ගේ තර්ජන අනතුරු ඇඟවීම් නොතකා මිසයිල අත්හදා බැලීම් සිදුකරයි. 

මේ තත්ත්වය යටතේ එරටට එරෙහි සම්බාධක තවත් තර කිරීමට එක්සත් ජාතීන් තීන්දු ගෙන තිබේ. අමෙරිකාවේ යෝජනාවකට අනුව ගැනීමට නියමිත මෙම සම්බාධක හේතුවෙන් එරට අපනයන ආදායම තුනෙන් එකක් අඩුවීමට නියමිතය. එයින් බිලියනයක පාඩුවක් එරටට සිදුවනු ඇත. කිම් ජොන් උන්ගේ වත්කම් තහනම් කිරීමත් කොරියාවට ඛනිජතෙල් තහනමක් පැනවීමටත්, උතුරු කොරියානු ජාතිකයන්ට වෙනත් රටවල රැකියා දීම තහනම් කිරීමත් මෙයට ඇතුළත්ය. ජපානය උතුරු කොරියාව ලෝකයටම තර්ජනයක් වූ රටක් බව ප්‍රකාශ කළ අතර සිය මතය පිළිගන්නා ලෙස අනෙක් රටවල සහාය පැතීය. 

මෙසේ ලෝකය පුරා තමන්ට එරෙහි තර්ජනය ඉහළ යද්දී උතුරු කොරියාව සිය රටේ මහා බාලක් පැවැත්වීය. තමන්ට න්‍යෂ්ටික මිසයිල බලවතකු වන්න මග පෙන්වා දුන් න්‍යෂ්ටික විද්‍යාඥයා මහා පෙරහරකින් රටපුරා ගෙන යමිනි. ප්‍රධාන මිසයිල විද්‍යාඥයා සහ හයිඩ්‍රජන් බෝම්බ නිෂ්පාදකයා ලෙස ඉතා කෙටිකලකින් නමක් දිනා ඉහළට ආ කිම් ජොන් කිල් ප්‍රධාන විද්වතුන් පිරිස බස් රියක නංවා කොරියානු භූමියේ කිම් ඉල් සුන් ප්‍රධාන චතුරස්‍රයට ගෙනැවිත් මහා ජන ගංගාවක් මැද අතිශය උත්කර්ෂවත් උළෙලක් පවත්වා ප්‍රසාද පිරිනමන්ට යෙදිණි. එහිදී කොරියානුවන් දිවුරා කීවේ අමෙරිකාව සහ ඔවුන්ගේ හෙංචයියන් ලෝකයෙන් අතුගා දමන බවය.

මේ අතර රුසියානු නායක පුටින් ලෝකයේ අනෙකුත් රටවල් අමෙරිකා මෙහෙයුම යටතේ පනවන්නට යන නව සම්බාධක ගැන අප්‍රසාදය පළ කළේය. ඔහු කියා තිබුණේ මොන කෙංගෙඩිය කළත් උ. කොරියානුවන් න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත් නොහරිනු ඇති බවය. එය ඔවුන්ගේ එකම ගැලවිජ්ජාව බවට දැන් පත්ව ඇති බවය.