2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

හින්දු ජාතිකවාදය තවත් බිල්ලක් ගනියි

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

හින්දු ජාතිකවාදී දේශපාලනය දැඩි දෝෂ දර්ශනයට ලක්කළ මාධ්‍යවේදිනියක වන ගෞරි ලංකේෂ් ඝාතනය කරනු ලැබ තිබේ. මෙයට එරෙහිව දිල්ලි අගනුවර ද ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන නගර කීපයක විරෝධතා ව්‍යාපාර රැසක් ඇරැඹිණි.

පනස්පස් වැනි වියේ පසුවූ මාධ්‍යවේදිනිය පසුගිය අඟහරුවාදා වෙඩි තබා මරා දමා තිබුණි. වෙඩි පහරට ගොදුරු වූ ගෞරි ලංකේෂ් බැංගලෝර් නගරයේ පිහිටි ඇයගේ ගෙදර එළිපත්ත මත ලේ විලක වැටී සිටියේය. යතුරුපැදියකින් පැමිණි බව කියන තුවක්කුකරුවන් ඇයගේ හිසට සහ පපුවට වෙඩි තබා තිබුණි. මෑත කාලයේ, ඉන්දියානු මාධ්‍යවේදීන් දැඩි හින්දු ජාතිකවාදී කණ්ඩායම්හි ගොදුරු බවට පත්වීම ඉහළ යමින් පවතී.

පහර දෙන බවට හෝ දූෂණය කරන බවට බොහෝ මාධ්‍යවේදිනියන්ට තර්ජන එල්ල වී ඇති අතර පොදුවේ මාධ්‍යවේදීන් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හින්දු ජාතිකවාදී අන්තවාදීන්ගේ නින්දා පරිභව කිරීම් ආදියට ලක්වෙති.

භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් වන ඇතැම් ඇමැතිවරුන් පවා මාධ්‍යවේදීන්ට ප්‍රසිද්ධියේ අවමන් කර ඇති අතර මාධ්‍යවේදිනියන් මාධ්‍යකරුවන් මෙන්ම ගණිකා වෘත්තියේද යෙදෙන මිශ්‍ර චරිත හැටියට එම දේශපාලකයන් විසින් අපහාසාත්මකව හඳුන්වා දෙනු ලැබ ඇත.

ගෞරි යන සුහද නාමයෙන් මාධ්‍ය ලෝකය දැන සිටි ගෞරි ලංකේෂ් සතිපතා පළ කෙරෙන පුවත්පතක කතුවරිය වූවාය. විවෘත ලෙස අදහස් පළකරන නිර්භීත මාධ්‍යවේදිනියක් ලෙසත් ඇය නමක් දිනා සිටියාය. භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් ද ඇතුළු දක්ෂිණාංශික හින්දු ජාතිකවාදීන් විවේචනයට ලක්කරන ලද ගෞරි ලංකේෂ්ගේ අනාගමිකවාදී දෘෂ්ටිය මාධ්‍යවේදිනියක් හැටියට ඇය ජනාදරයට පාත්‍ර වීමට හේතුවිය.

කලෙක ද ටයිම්ස් ඔෆ් ඉන්දියා‍ පුවත්පතේ සේවය කළ ගෞරි ලංකේෂ්, කවියකු ලේඛකයකු මෙන්ම වාම මතධාරියකු වූ සිය පියා නිර්මාණය කළ පුවත්පතක (Lankesh Patrike) පසුව සේවය කළාය. අනතුරුව ඇය ගෞරී ලංකේෂ් පත්‍රිකාව Gauri Lankesh Patrike නම් ඇයගේම පුවත්පත ආරම්භ කළාය. සම්මානලාභී සිනමා ශිල්පිනී කවිතා ලංකේෂ් ඇයගේ සහෝදරියකි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00