2016 දෙසැම්බර් 23 වන සිකුරාදා

සිරියාවේ කඩවුණු පොරොන්දුව

 2016 දෙසැම්බර් 23 වන සිකුරාදා, ප.ව. 07:50 114

 

සිරියාවේ අලෙප්පෝ හි නැගෙනහිර කලාපයේ කොටුව සිටින සන්නද්ධ කැරලිකාර කණ්ඩායම් කලාප හයකින් සිය ප්‍රහාරකයන් ඉවත් කරගෙන තිබුණි. සිරියානු මානව හිමිකම් නිරීක්ෂකයෝ කලින් ප්‍රකාශ කළේ අලෙප්පෝ නගරයේ නැගෙනහිර කලාපයේ සම්පූර්ණයෙන්ම බලය තහවුරු කර ගැනීමට රජයේ හමුදා කණ්ඩායම් සමත් වෙමින් සිටින බවය. නමුත් බ්‍රහස්පතින්දා වනවිටත් නැගෙනහිර වෙත ෂෙල් ප්‍රහාර ඇරඹුණි.

කැරලිකරුවන් සමඟ මුසුවුණු 50,000ක් වූ සිවිල් වැසියන්ද නගරයේ නැගෙනහිර කලාපය හැර දමා පලා යාමට උත්සාහ දැරූ අතර ෂෙල් ප්‍රහාර ඔවුන්ගේ ජීවිතද බිලි ගත්තේය.

පසුගිය බදාදා වනවිට අලෙප්පෝ නගරයේ නැගෙනහිර කලාපයේ සාමාන්‍ය වැසියන්ට සහ සන්නද්ධ කැරලිකරුවන්ට ඉවත්වීමට නිවේදන නිකුත් කොට තිබුණි. එදිනට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබූ සටන් විරාමය බිඳ වැටීම හේතුවෙන් සාමාන්‍ය වැසියන් ඉවත් කිරීමේ එම මෙහෙයුම නවැත ලත්තැනම ලොප් විය. රුසියාව තුර්කිය ප්‍රමුඛ සාම සාකච්ඡා මෙහෙයුම් කණ්ඩායම නැවත 27දා මොස්කව්වලදී සටන්කරුවන් හා සාකච්ඡා කිරීමට නියමිතය. අලෙප්පෝ වාසීන්ට නිදහස ලබාදෙන බවට එම සාම දූතයන් දුන් පෙරොන්දුව මේ වනවිට කැඩී ගොස් තිබේ. සටන් විරාමයද පුස්සක් බවට පත්ව තිබේ.

එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය ඉල්ලා සිටින්නේ අලෙප්පෝ නගරයේ සටන් අවසානයක් කරා ළඟාවෙමින් පවතින මේ අවස්ථාවේ සාමාන්‍ය වැසියන්ට ආරක්ෂාව පතා පළා යාමට කිසිදු ස්ථානයක් නොමැති හෙයින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙසයි.

මේ වනවිට කැරලිකරුවන්ගේ බලය දිස්ත්‍රික්ක කීපයකට පමණක් සීමා වී ඇති අතර කැරලිකරුවන් අත පවතින එම දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් ආණ්ඩුවේ හමුදා ඉදිරියට ඇදෙමින් සිටිති.