2016 දෙසැම්බර් 23 වන සිකුරාදා

වෙනිසියුලාවෙත් මුදල් තහංචියක්!

 2016 දෙසැම්බර් 23 වන සිකුරාදා, ප.ව. 07:37 48

 

හොර නෝට්ටු බිලියන 6ක්

පැය හැත්තෑ දෙකක කාලය තුළ රටේ ඉහළම නාමික වටිනාකමින් යුතු මුදල් නෝට්ටුව භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව වෙනිසියුලා රජය ප්‍රකාශ කර තිබුණි. රජය මෙම පියවර ගෙන තිබෙන්නේ වෙනිසියුලාව තුළ සිදුවන මහා පරිමාණයේ වංචනික වෙළෙඳාම් වැළැක්වීමේ පියවරක් ලෙසයි.

වෙනිසියුලානු මහ බැංකුවේ දත්තවලට අනුව බිලියන හයක බොලිවර් සියයේ නෝට්ටු මූල්‍ය වෙළෙඳපොළේ සංසරණය වෙමින් පවතින අතර එය සම්පූර්ණ මුදල් වෙළඳපොළෙන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයකි.

බදාදා සිට වෙනිසියුලානු වැසියන්ට තමන් සතු බොලිවර් සියයේ නෝට්ටු වෙනුවට නාමික අගයෙන් අඩු නෝට්ටු සහ කාසිවලින් මුදල් මාරු කර ගැනීමට දින දහයක කාලයක් ලබා දී තිබේ.

වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මාදුරෝ ප්‍රකාශ කළේ වැඩි නාමික වටිනාකමින් යුතු නෝට්ටු ඉවත් කිරීමට ගත් හදිසි පියවරෙන් ජාවාරම් කල්ලි සතුව පවතින වංචනික මුදල් තොග නීතියේ රැහැනට හසුකර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවය.

පසුගිය මාසයේ මේ අයුරින්ම ඉහළ නාමික වටිනාකමින් යුතු මුදල් නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය රජය පියවර ගත් අතර ඊට හේතු ලෙස ඔවුන් පෙන්වා දුන්නේ ද වංචනික මුදල් තොග බදු රැහැනට හසුකර ගැනීමයි. එසේ වුවද ඉන්දියාව ගත් පියවර එරට තුළ ඇතිකළේ ආර්ථික අලකලංචියකි. දැනටමත් ආර්ථික අගාධයක වැටී සිටින වෙනිසියුලාවද ඉන්දියාව අනුගමනය කිරීමෙන් තවත් වළේ වැටෙනු ඇතිද යන සැකය දැන් මතුව තිබේ. ඉන්දියාවේ මෙන්ම වෙනිසියුලාවේද දැන් බැංකු අසල දිගු පෝලිම් දක්නට ලැබේ.