2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

තානාපති මන්දිරයේ භූතයෝ

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 119

සාමාන්‍යයෙන් තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ අවධානයට ලක් වන්නේ විදේශ සබඳතා, විදේශ ප්‍රතිපත්ති වැනි කරුණුය. මේ දිනවල එවැනි කරුණුවලට අමතරව තවත් විශේෂ යමක් අයර්ලන්තයේ සිටින කැනේඩියානු තානාපතිවරයාගේ අවධානයට ලක්ව තිබේ.

ඒ සිය නිල නිවස තුළ සිදුවන කිසියම් බියකරු අද්භූත සිදුවීම් ජාලයකි. නිල නිවසේ ශාලාවක් දෙසින් අසාමාන්‍ය උස් ශබ්ද, තදින් හුස්ම ගන්නවා වැනි හඬ සහ දැඩි පාද තැබීම් වැනි හඬ ඇසීම පිළිබඳ කැනේඩියානු තානාපතිවරයා ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණි. එය අයර්ලන්තයේ පාස්කු පිබිදීමට සම්බන්ධ වූ නායකයකුගේ අවතාරය විය හැකි බව තානාපතිවරයාගේ විශ්වාසයයි.

අයර්ලන්ත ජාතිවාදියකු වූ පැට්‍රික් පියස් වත්මන් තානාපති නිවසේ එවක වාසය කර ඇති බව එහි මුල්වරට පැමිණි තානාපති කෙවින් විකර්ස්ට අසන්නට ලැබී ඇත. පැට්‍රික් පියස්, බ්‍රිතාන්‍ය පාලනය නෙරපා දමා අයර්ලන්ත ජනරජයක් පිහිටුවීම සඳහා 1916 වසරේ දියත් කළ කැරැල්ලේ ප්‍රමුඛයකු ලෙස කටයුතු කළේය. දින හයක් පුරා පැවති සටන්වලදී 450කට අධික පිරිසක් මරණයට පත් වූ අතර 2,600කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. කැරැල්ලට සම්බන්ධව කටයුතු කිරීම හේතුවෙන් යුද අධිකරණය වෙත පමුණුවන ලද ඔහු පසුව මරා දමනු ලැබිණ.

නිල නිවසේ වාසය කිරීමට පැමිණීමට පෙර තමන් අවතාර සහ භූතාත්ම පිළිබඳ විශ්වාස නොකළ බව තානාපතිවරයා පවසයි. “සමහර හවස් කාලවල ඔහු හෝ ඇය කැළඹීමකට පත් වී සිටිනවා වගේ පෙනෙන්න තිබෙනවා. ඊට පස්සේ දින ගණනාවක නිශ්ශබ්දතාවක් පවතිනවා.” යනුවෙන් තානාපතිවරයා කියා සිටියේය.

ඉහත කී ෆේස්බුක් සටහන තැබීමට පෙර දින රූපවාහිනිය නරඹමින් සිටි බව කී ඔහු “එකපාරටම කෑම කාමරේ පොළොව මතට බර දම්වැලක් වැටෙන ශබ්දය ඇහුණා. මම ඉක්මනට එතනට ගියා. නමුත් කිසි දෙයක් බිම තිබුණේ නැහැ.” යනුවෙන් සඳහන් කර තිබුණි.

සති කිහිපයකට පෙර තරප්පු පෙළ මත තදින් අඩි තබන සහ හුස්ම ගන්නා හඬක් ඇසුණු බව පවසන තානාපතිවරයා ඒ වෙත ගොස් පරීක්ෂා කළත් එහි කිසිවකු නොවූ බව කියා සිටියේය. නිවසේ ගෘහ සේවිකාව ඉහළ මහලට යාම ප්‍රතික්ෂේප කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය.

“මේ කතාව ගැන කාට හරි සැකයක් තිබෙනවා නම් ඔවුන්ට රැයක් හෝ දෙකක් මෙහි ගත කරන්න පුළුවන්.” යනුවෙන් තානාපති කෙවින් විකර්ස් අභියෝග කරයි.