2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

මිනීමස් කාලා පොලීසියටත් ඇවිත්

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 170

“මිනීමස් කාලා මට දැන් එපාවෙලා” යනුවෙන් පවසමින් පොලිස් ස්ථානයකට පැමිණි බව පැවසෙන පුද්ගලයෙකු ඇතුළු පුරුෂයන් සිවු දෙනෙකු මිනීමස් කෑමේ චෝදනා යටතේ දකුණු අප්‍රිකාවේ අධිකරණයක් වෙත ඉදිරිපත් කරනු ලැබිණ.

පොලිසියට පැමිණි පුද්ගලයාගෙන් තවදුරටත් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු මිනිස් අතක් සහ කකුලක් ඉදිරිපත් කර තිබේ. ඉන් අනතුරුව පොලීසිය ඔහු ක්වාසුලු නටාල් ප්‍රදේශයේ නිවාසයකට රැගෙන ගිය අවස්ථාවේ තවත් මිනිස් සිරුර කොටස් හමුවී තිබේ.

සැකකරුවන් අතරින් දෙදෙනකු සාම්ප්‍රදායික කට්ටඩියන්ය. ඔවුන් සිවුදෙනාට එරෙහිව මිනීමැරීම සහ මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ නඩු පවරනු ලැබ තිබේ. අවුරුදු 22 සහ 32 අතර වයසේ පසුවන මෙම පුරුෂයන් පිරිස සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් විය හැකි බවට සැක කෙරේ.

සැකකරු රැගෙන ආ සිරුරු කොටස් එක පුද්ගලයෙකුගේද, නොඑසේ නම් කිහිප දෙනෙකුගේද යන්න පැහැදිලි නැති බැවින් ඒ සඳහා වෝහාරික වෛද්‍ය විශේෂඥයන්ගේ සහාය ලබාගන්නා බවත් පොලිසිය පවසයි. මීට මාසයකට ඉහතදී මිනිස් හිසක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ඩර්බන් නගරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

කට්ටඩියෙකුට විකිණීම සඳහා ඔහු එම මිනිස් හිස රැගෙන යමින් සිට ඇත.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00