2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

උසාවියේදී පොලිස් ඇඳුමින් මදුෂ් ගන්න හදන අලුත්ම බිල්ල

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 643

දිනය පසුගිය 12 වැනි සෙනසුරාදාය. එදින සවස මීගමුව නගරය තරමක් කාර්යබහුල විය. ඒ සෙනසුරාදා සවස බොහෝ දෙනකු විඩා නිවාගැනීමේ කාලය වන නිසාය. සංචාරක කලාපයක් නිසා බොහෝ දෙනෙක් එහා මෙහා යමින් සිටියහ. මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයද තරමක් කාර්යබහුල විය. වෙලාව සවස 5.00 පසුවෙමින් තිබිණි. මීගමුවේ සිට කොළඹ දෙසට වෑන් රථයක් වේගයෙන් එමින් තිබුණේය. ඒ පසුපස ඩිෆෙන්ඩරයකි. ඊටත් පිටුපසින් තවත් වෑන් රථයකි. එම වාහන තුනම එකම වේගයෙන් ගියේ අවට සිටි බොහෝ දෙනාගේ නෙත් පුදුම කරමිනි. එකවරම ජිප් රථය ඉදිරියෙන් යන වෑන් රථයට ඉස්සර කර නැවැත්වීමට උත්සාහ ගත්තේය.

වෑන් රථයද ඒ සමඟ නැවැත්විණි. එසේ නවත්වනවාත් සමඟ වෑන් රථයෙන් වෙඩි ප්‍රහාර කිහිපයක් ජිප් රථයට එල්ල විණි. එසේ එල්ල කර වෑන් රථය ජිප් රථයත් තල්ලු කරමින් ඉදිරියට ඇදෙන්නට විය. ඒ වන විට ජිප් රථයේ සිටි විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසක් බිමට බැස් වෑන් රථය වටකරමින් එහි සිටි පිරිස සමඟ වෙඩි හුවමාරුවක නිරත වෙමින් සිටියහ.

වෑන් රථය ඉදිරියට ගන්නවාත් සමඟ නැවතත් ජිප් රථය ඉදිරියට ගෙන වෑන් රථය හරස් කළේය. වෑන් රථයේ සිටි දෙදෙනෙක් ඒ වන විටත් බරපතළ තුවාල ලබා සිටියේ එල්ල කරන ලද වෙඩි ප්‍රහාර නිසාය. ඊට අමතරව තවත් දෙදෙනකු සිටි අතර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත් විය.

මේ සියලු සිද්ධීන් දෙස අවට සිටි පිරිස බලා සිටියේ චිත්‍රපටයක් නරඹන අයුරෙනි. වෙඩි වැදුණු දෙදෙනා රාගම රෝහල වෙත රැගෙන ගිය අතර අනෙක් දෙදෙනා එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගෙන පොලීසියට බාරදුන්නේය. අත්අඩංගුවට ගත් අය පැමිණි වෑන් රථයේ තිබී ටී 56 ගිනි අවි දෙකක්, පිස්තෝලයක් සහ ව්‍යාජ අංක තහඩු දෙකක් සොයා ගැනීමට හැකිවිය.

කෙසේ වෙතත් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ වන්නේ මීට මාස දෙකකට පෙරය. ඒ විශේෂ කාර්ය බලකායේ බුද්ධි එක්කයට ලද තොරතුරක් අනුවය. එනම් මීගමුව, කටාන, සීදුව හා ජා-ඇළ ආදී ප්‍රදේශවල සංවිධානාත්මක කල්ලියක් විසින් මංකොල්ලකෑම් බියවැද්දීම් සිදුකරන බවට වාර්තාවීමත් සමඟය. මේ පිරිස රහස් පොලීසියේ යැයි පවසමින් මෙම අපරාධ කරන නිසා මාස දෙකක සිට සැකකරැවන් පසුපස විශේෂ කාර්ය බලකා සෙබළුන් පන්නමින් සිටියෝය.

මෙලෙස පන්නමින් සිටිනා විට පසුගිය සෙනසුරාදා පොලීසියට තොරතුරක් ලැබුණේ එම කණ්ඩායම සීදුවේ සිට කොළඹ දෙසට පැමිණෙමින් සිටිනා බවය. ඒ අනුව විශේෂ කාර්ය බලකා බුද්ධි ඒකකයේ නිලධාරීනුත්, විශේෂ අවි සහ උපක්‍රම අංශයේ නිලධාරින් කණ්ඩායමකුත් සැකකරුවන් පසුපස පන්නන්නට වුයේ අත්අඩංගුවට ගැනීම සඳහාය. එසේ පන්නන විටය මෙලෙස වෙඩි හුවමාරුව සිදුවුණේ.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරුවන් කවුරැන්ද යන්න හෙළිවුණේ ඊට පසුවය. එනම් මෙම කණ්ඩායමට නායකත්වය ලබාදී තිබුණේ ඩුබායිහි සිටින රටේ අපරාධ රැසකට වගකිව යුත්තෙකු වන මාකඳුරේ මදූෂ්ය. මදූෂ්ගේ ළඟම ගෝලයකු වන වජිර ශ්‍රී ලංකාවේදී මෙම පිරිසට නායකත්වය දී තිබුණේය. වජිර සීදුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

වජිර 2011 සිට මේ වනතෙක් මිනීමැරුම්, කොල්ලකෑම්, බියවැද්දීම් රැසකට අවශ්‍යව සිටි පුද්ගලයෙකි. එහෙත් පොලීසියට කට්ටි පනිමින් වජිර සිය පාතාල කණ්ඩායම මෙහෙයවා ඇත. කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා සිදුවීමේදී වජිර බරපතළ තුවාල ලත් පුද්ගලයකු විය. අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා වන්නේ ජයතුංගය. හෝමාගම ප්‍රදේශයේ පදිංචි ජයතුංගද අපරාධ වැලක මොළකරුවෙකි. කෙතරම් අපරාධ සිදුකළාද යත් මේ වසරේ අප්‍රේල් මාසයේදී පමණක් කොල්ලකෑම් පහක් පමණ සිදුකර තිබුණේය. කෙසේ වෙතත් මේ අත්අඩංගුවට ගැනීමේදී ජයතුංගටද වෙඩි වැදී බරපතළ තුවාල සිදුවිය. අනෙක් පුද්ගලයා රාගම චරිත නැමති අයෙකි. ඔහු කුඩු ලාලිත නැමැත්තාගේ ළඟම ගෝලයා විය. 2013 වසරේදී හෙරොයින් පාර්සලයක් සමඟ පොලීසියට කොටුවූ අයෙකි. එසේම මේ පිරිස අතර තවත් අයෙක් සිටියේය. ඔහු නාවික හමුදාවේ හිටපු අයෙකි. ඔහුද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට මීට පෙර කොටුවී ඇති අතර ඒ මුහුදු මාර්ගය ඔස්සේ මිනිස් ජාවාරම සිදුකිරීම නිසාය.

ඒ අනුව මේ සියලු දෙනාම අත්අඩංගුවට ගෙන පොලීසියට ලබාදී විශේෂ කාර්ය බලකාය සිය මෙහෙයුම නිම කළේය.
පසුගිය අඟහරුවාදා පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයට තොරතුරක් ආවේය. ඒ රාගම චරිත නැමැත්තාගේ නිවසට පිරිසක් පැමිණ පාර්සලයක් රැගෙන ගිය බවය. ඒ අනුව පෑලියගොඩ පොලීසිය ක්‍රියාත්මකව ගොස් පාර්සලය ගන්නට පැමිණි යුවල අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත් අය චරිතගේ නිවසින් රුගෙන ගිය පාර්සලය පරීක්ෂා කළේය.

පාර්සලය පරීක්ෂා කරන විට පොලීසියට නෙත් අදහා ගැනීමට නොහැකි විණි. එනම් එම පාර්සලයේ තිබුණේ පොලිස් පරීක්ෂකවරයකුට අයත් ඇඳුමකි. පොලිස් තරු ඇඳුමේ පමණක් නොව තරු තවත් පාර්සලයක්ද විය. එසේම සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 ගිනි අවියක්ද සොයා ගත්තේ වාහනයේ තිබීය.

කෙසේ වෙතත් සැකකරුවන්ගේ ප්‍රකාශ මත හෙළිවුණේ පොලීසියට පවා අදහාගත නොහැකි තොරතුරකි. එනම් ඩුබායි රාජ්‍යයට පැන සිටින මදූෂ්ගේ තවත් බිල්ලක් ගැනය. මෙම බිල්ල එසේ මෙසේ බිල්ලක් නොවූ අතර කොළඹ පාතාලයේ මහකෙරුමෙකු වන භාරත ලක්ෂමන් ඝාතනයේ වරදකරු වු දෙමටගොඩ චමින්ද කේන්ද්‍ර කරගෙන තිබීමයි. මෙම ඝාතනය සිදුකරන්නට සූදානම් වී ඇත්තේ අධිකරණ භූමිය තුළ වීමද විශේෂ දෙයකි.

එනම් දෙමටගොඩ චමින්ද අධිකරණය වෙත රුගෙන ඒමේදි පොලිස් නිල ඇඳුමෙන් ගොස් වෙඩි තැබීම මෙහි මූලික අරමුණ වී තිබිණි. ඒ සඳහා පොලිස් ඇඳුම් සූදානම් කර තිබූ බව පරීක්ෂණවලදී තහවුරු විය.

කෙසේ වෙතත් මදූෂ් සම්බන්ධයෙන් සොයා බැලීමේදී පෙනෙන්නේ මදූෂ්ගේ කල්ලියට පොලිස් ඇඳුම් ඇඳ සිදුකරන සංවිධානාත්මක අපරාධ කිරිකජු මෙන් වූ බවයි. ඊට හොඳම උදාහරණය වන්නේ කඩුවෙල සමයං ඇතුළු පිරිස ඝාතනය කිරීමය. කළුතර බන්ධනාගාර බස්‍ රථයට වෙඩි තිබ්බේද පොලිස් ඇඳුම්වලින් සැරසී පැමිණය. එම ඝාතනයට පෙර හරියටම මාස තුනකට පෙර මදූෂ්ගේ ගෝලයකු වන අංගොඩ ලොක්කාගේ පිරිසක් අත්අඩංගුවට ගත් අතර, එදින ඔවුන් සන්තකයේ තිබී යුද හමුදා ඇඳුම් කිහිපයක් සොයා ගත්තේය. එම ඇඳුම්ද ළඟ තබාගෙන සිටියේ ඝාතනයකටය. කෙසේ වෙතත් මෙවරද සුපුරුදු පරිදි පොලිස් නිල ඇඳුමකින් සැරසී මදූෂ්ලා සූදානම් වී සිටියේ චමින්දගේ බිල්ල ගැනීමට බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.

චමින්ද ඝාතනය කිරීමේ සැලසූම පොලීසියට පවා පුදුමයක් වී ඇත. ඒ චමින්ද මදූෂ්ගේ හොඳම ගෝලයා වන අංගොඩ ලොක්කාගේ මිතුරකු වන නිසාය. එසේ මිතුරුකම් තිබියදීත් මදූෂ් මෙම ඝාතනය සිදුකිරීමට සූදානම් වීම සැබවින්ම උභතෝකෝටිකයක් බව පොලීසිය පවසයි.

එහෙත් මදූෂ්ට ඇති එකම හීනය වී ඇත්තේ නාවල නිහාල්ගේ භූමිකාව හෙවත් ගෝඩ් ෆාදර් වීමය. නැතහොත් සොත්ති උපාලිගේ චරිතය රඟපෑමටය. ඒ සියලු පාතාල කල්ලි තමන් යටතට ගැනීමය. මේ නිසා මදූෂ්ට හිතවත් අපරාධකරුවන් රට පුරා යොදවමින් ඔහුට එරෙහිවන අයට යකඩ කටෙන් පිළිතුරු දීමට පටන් ගෙන ඇත්තේ මේ නිසාය. අවසානයේ මදූෂ්ට එරෙහි වු මත්ද්‍රව්‍ය කොට්ටාසයේ පොලිස් පරීක්ෂක රංගජීවටද යකඩ කටෙන් පිළිතුරු දුන්නේය. අවසානයේ අහිංසක පොලිස් නිලධාරියකු ජීවිතෙන් වන්දි ගෙව්වේය.

මදුෂ්ගේ කියන නාහන වැඩ නිසා පාතලයන්ද සෙලවී ගොස් ඇති අතර මේ නිසා ඔවුන් ජීවිතය රැකගැනීමේ අරමුණින් මදූෂ් සමඟ එකතුවීමට පටන් ගෙන ඇත. එය බරපතල තත්ත්වයක් වී ඇති අතර මදූෂ්ගේ වැඩ නිසා රටේ නීතියට විශාල බලපෑමක් එල්ලවී ඇත.

ඩුබායි රාජ්‍යයේ සිට පාතාලයත්, හෙරොයින් ජාලයත් මෙහෙයවන මදූෂ් මේවන විට රටට පිළිලයක් වී ඇත. කෙසේ වෙතත් මදූෂ් තවත් නිදැල්ලේ සිටියහොත් බොහෝ දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇත. මදූෂ්ද මෙලෙස බය නොවී සිටින්නේ මදූෂ් කාලයක් ඇතැම් අමාත්‍යවරුන්ගේ කාමරවල ලැග්ග නිසාය. ඒ නිසා මදූෂ් කාටවත් බය නැත. එසේ බය නොවන තාක් මදූෂ්ගේ යකඩ කට කාවෙතට එල්ලවනු ඇත්දැයි දන්නේ නැත.

 ගයාන් ගාල්ලගේ