2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

ප්‍රංශ ජනපති ආර්යාව හැලේ

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 394

සිය භාර්යාව බ්‍රිෂීට් ජනාධිපති ආර්යාවගේ භූමිකාවට නිල තත්ත්වයක් ලබාදීම සඳහා පැවති සැලසුම ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්හට ඉවත දමන්නට සිදුව ඇත. ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළදී මැක්‍රෝන් කියා සිටියේ සිය බිරිඳ සඳහා සැබෑ නිල පදවියක් නිර්මාණය කිරීමට තමන්ට අවශ්‍ය බවය. නමුත් එම සැලසුමට එරෙහිව අන්තර්ජාලයේ දියත් කරන ලද පෙත්සමකට දෙලක්ෂ අනූ දහසකට ආසන්න සංඛ්‍යාවක් අත්සන් තබා තිබුණි.

බ්‍රිෂීට් මැක්‍රෝන්ගේ තනතුර ඉදිරි දිනවලදී පැහැදිලි කෙරෙනු ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රංශ ව්‍යවස්ථාවේ සංශෝධනයක් සිදු නොවනු ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර පැවති රෑපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් එම්මානුවෙල් මැක්‍රෝන් එවක කියා සිටියේ ජනාධිපති ආර්යාවගේ භූමිකාව කුමක්දැයි යන්න විග්‍රහ කිරීමට තමන්ට අවශ්‍ය බවය.

ප්‍රංශ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය දරන්නාගේ විවාහක සහකරු හෝ සහකාරියට නිල තත්ත්වයක් ලබා දී නොමැත. එනමුත් ජනාධිපති ධුරය දරන්නාගේ සහකරු හෝ සහකාරියට ප්‍රංශ ජනාධිපති නිල නිවස වන ඒලීසේ මාලිගයේ කාර්යාලයක්, සේවය සඳහා එක් අයෙකු හෝ දෙදෙනෙකු සහ ආරක්ෂක භටයන් ලබාදෙනු ලබයි.

එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ගතානුගතිකවාදී ප්‍රතිවාදියා වූ ෆ්‍රන්ස්වා ෆියෝන්ගේ බිරිඳ වෙත ලබාදුන් දීමනා මතභේදයට තුඩුදුන් අතර ඒ සම්බන්ධයෙන් එවක විමර්ශනයක් දියත් කෙරිණි. එවන් පසුබිමක ප්‍රංශ දේශපාලනයේ පවතින ඥාති සංග්‍රහය සම්පූර්ණයෙන් අතුගා දැමීම මැක්‍රෝන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ පදනම විය.

නමුත් එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ජනප්‍රියත්වය සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බව ඇතැම් සමීක්ෂණ පෙන්නුම් කරන අතර ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීම සඳහා ඔහු සිය භාර්යාව යොදාගැනීමේ උත්සාහයක නිරතවනවා විය හැකිබව විවේචකයෝ පවසති. 

සෙසු විවේචකයන් කියා සිටින්නේ ජනාධිපති මැක්‍රෝන් අමෙරිකානු මෝස්තරය අනුකරණය කිරීමේ උත්සාහයක නිරතව සිටින බවය. කෙසේ නමුත් අමෙරිකානු ජනාධිපති ආර්යාවගේ භූමිකාවටද නිල තත්ත්වයක් ලබා දී නොමැත.