2017 ජුලි 15 වන සෙනසුරාදා

ලූලා හිරේට

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 199

දූෂණ චෝදනා හේතුවෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා අවුරුදු නවය හමාරක සිරදඬුවමකට යටත් කරනු ලැබ ඇත. හිටපු ජනාධිපතිවරයා වරදකරු කරනු ලැබ සිටින්නේ ඩොලර් දශ ලක්ෂයකට අධික අල්ලස් ලබාගැනීමක් සම්බන්ධයෙනි.

වෙරළාසන්න නිවාඩු නිකේතනයක තට්ටු නිවාසයක් නවීකරණය කිරීම සඳහා එම අල්ලස ලබාගෙන ඇති බව ලූලා ද සිල්වාට එරෙහි චෝදනා මගින් කියැවෙයි. එහෙත් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපතිවරයාගේ නීතිවේදීහු පවසති.

එම නෛතික අරගලය නිමවෙන තෙක් ඔහු බන්ධනාගාර ගත නොකරන බව ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ. ඒ අනුව ලූලා ද සිල්වාට ඔහු සැලසුම් කරමින් සිටි ආකාරයට මීළඟ බ්‍රසීල ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට අවස්ථාව ලැබෙනු ඇත.

මීළඟ බ්‍රසීල ජනාධිපතිවරණය සඳහා සූදානම් වෙමින් සිටින අපේක්ෂකයන් අතර ඔහු ශක්තිමත් ස්ථානයක සිටින බව බ්‍රසීල දේශපාලනය පිළිබඳ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

බ්‍රසීල ආණ්ඩුවේ සහ ව්‍යාපාරික අංශයේ ප්‍රමුඛ පුද්ගලයන් විසින් සිදුකරනු ලැබ ඇති බවට අනාවරණය වී ඇති දූෂණ සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙමින් පවතින විභාගවලදී බලවත්ම පුද්ගලයකු වරදකරැ කෙරෙමින් දුන් පළමු නඩු තීන්දුව මෙයයි. කෙසේ වුවද, මෙය ලූලා ද සිල්වා ලද විශාල පරාජයක් ලෙසද විග්‍රහ කෙරෙයි.

ළමා වියේ දිළිඳු භාවයෙන් පීඩා විඳින ලද ලූලා ද සිල්වා වෘත්තීය සමිති නායකයකු හැටියට නැගී සිටි අයෙකි. ඔහු බ්‍රසීලයේ අතිශයින් ජනාදරයට පත් ජනාධිපතිවරැන් කීප දෙනා අතරින් එක් අයෙකි.

මෙයට පෙර බ්‍රසීල ජනාධිපති ඩෙල්මා රූසෙෆ් ලූලාට කැබිනට් ඇමැතිකමක්ද පිරිනැමූ අතර වංචා දූෂණ ලැබූ ඔහුට ලබාදුන් එම වරප්‍රසාදයට එරෙහිව දහස් ගණන් ජනතාව වීදි බැස විරෝධය පලකළහ. එය බ්‍රසීල ඉතිහාසයේ බලයේ පැවැති රජයකට එරෙහිව මෙතෙක් පැවැති විශාලතම විරෝධතාව විය. ඇමැතිකම ලබාදීමෙන් ලූලා හිරේ වැටීමෙන් බේරාගන්නට ජනාධිපති ඩෙල්මා හා ලූලා අතර සිදුවූ දුරකතන සංවාදයක් රටට හෙළිදරව් වීමත් සමග ජනතා විරෝධය ඇවිල ගියේය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00