2017 ජුලි 15 වන සෙනසුරාදා

ට්‍රම්ප්ගේ පිහිටෙන් රොබෝ තරගයට යන ඇෆ්ගන් කෙල්ලෝ

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

අන්තර්ජාතික රොබෝ තරගය ලබන සතියේ වොෂින්ටනයේ පැවැත්වීමට නියමිතය. රටවල් 150ක තරගකරුවන් සහභාගි වන මේ තරගයට ඇෆ්ගනිස්ථාන තරුණියන් කණ්ඩායමක්ද සහභාගි වන්නට නියමිතව තිබුණි. ඔවුන් අමෙරිකාවට යාම සඳහා දෙවතාවක්ම වීසා අයැදුම් කර තිබුණද ජාතික ආරක්ෂක කවුන්සලය බලපෑමෙන් ඒවා ප්‍රතික්ෂේප වී තිබුණි. 

අන්තිමේදී මේ සිද්ධිය අමෙරිකාවේ නාහෙට නාහන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාර්තා විය. ට්‍රම්ප් වහාම ජාතික ආරක්ෂක කවුසිලය අමතා මේ අයට සහනයක් ලබාදෙන ලෙස නියෝග කළේය. දැන් ට්‍රම්ප්ගේ පිහිටෙන් වොෂින්ටනයට යන්නට මේ අයට අවස්ථාව සැලැසී තිබේ. විද්‍යාඥවරියන්ද වන මේ පිරිස ඇෆ්ගනයේ යහපත් ජනතාව නියෝජනය කරන පිරිසක් නිසා ඔවුන්ට විශේෂ සහනයක් සැලසූ බව ආරක්ෂක බලධාරීන් කියා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ම මුස්ලිම් රටවල් හයක් සඳහා වීසා ලබාදීම තහනම් කර තිබේ. නමුත් ඇෆ්ඝනය මේ ලැයිස්තුවට අයත් නැත. කෙසේ වුවද මුස්ලිම් බහුතරයක් සහිත රටක් නිසා බොහෝවිට ඇෆ්ගන් ජාතිකයන් සඳහාද වීසා ලබාදීම අමෙරිකානු බලධාරීහු ප්‍රතික්ෂේප කරති. ට්‍රම්ප්ට මැදිහත්වන්නට වූයේ එහෙයිනි.