2017 ජුලි 08 වන සෙනසුරාදා

කොරියාවෙන් තවත් මිසයිලයක් - ට්‍රම්ප්ගේ රතු කට්ට පනියි

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139

උතුරු කොරියාව පිළිබඳව වසර ගණනාවක් තිස්සේ පැවති උපායෝචිත ඉවසීම අසාර්ථක වී ඇති බවත් එම ඉවසීම මේ වනවිට අවසන් වී ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබේ. ඔහු මේ බව කියා සිටියේ ධවල මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුවට දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ද සහභාගී විය.

ජනාධිපති ට්‍රම්ප් තවදුරටත් කියා සිටියේ උතුරු කොරියාවෙන් එල්ලවන තර්ජනය හමුවේ අධිෂ්ඨානශීලි ප්‍රතිචාරයක් දැක්විය යුතු බවය. තමන් දුර විහිදුම් අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව පසුගිය සතියේ නිවේදනය කළේය.

අමෙරිකානු භූමියේ ඇලස්කා ප්‍රාන්තය වෙත ළඟාවීමේ හැකියාවක් පවතින අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් උතුරු කොරියාව විසින් සාර්ථකව අත්හදා බැලූ බව පැවසෙන පළමු අවස්ථාව මෙයයි.

ජපාන මුහුදු සීමාවට මිසයිලය පතිත වී ඇති බව කී අමෙරිකාව එය උතුරු අමෙරිකාවට තර්ජනයක් නොවන බව සඳහන් කළේය. මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප් සමඟ එක් වී උතුරු කොරියාවේ න්‍යෂ්ටික තර්ජනය පරාජය කිරීම සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබාදෙන බවය.

ඒ සඳහා තම රටේ ආරක්ෂක කටයුතු ප්‍රතිසංස්කරණයකට ලක් කෙරෙන බවත් රටේ ආරක්ෂක අංශවල ධාරිතාව තවදුරටත් වර්ධනය කෙරෙනු ඇති බවත් උතුරු කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම වසර ඇතුළත උතුරු කොරියාව මිසයිල කිහිපයක්ම අත්හදා බැලූ අතර ඒ සියලුම මියයිල සාර්ථක නොවූ නමුත් සියලු අත්හදා බැලීම් එක්සත් ජාතීන්ගේ කොන්දේසි කඩකළ ඒවාය.

උතුරු කොරියාව දිගින් දිගටම සිදුකරන මිසයිල අත්හදා බැලීම්වලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව කොරියානු අර්ධද්වීපය වෙත ප්‍රහාරක නෞකා යැවූ අතර දකුණු කොරියාව තුළ සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමටද කටයුතු කළේය.

කොරියානු අර්ධද්වීපය වෙතට නාවික ප්‍රහාරක බලඇණියක් යෙදවීමට අමෙරිකානු හමුදාව පියවර ගැනීමත් සමඟ එම කලාපය තුළ උණුසුම් තත්ත්වයක් මතුවෙමින් පවතී. 

 සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00