2017 ජුලි 01 වන සෙනසුරාදා

චීනයේ අලුත් යුද නැව

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 230

කලාපය තුළ උත්සන්න වෙමින් පවතින උණුසුම් තත්ත්වය මධ්‍යයේ චීනය තමන් විසින්ම නිපදවන ලද පළමු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කළේය. 

මේ තත්තවය සමඟ කලාපය තුළ චීනයේ හමුදාමය නියෝජනය තවදුරටත් ඉහළ නැං‍ෙවන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

එරට ඊසාන දිගින් පිහිටි ඩාලියාන්යේදී නෞකාව මුහුදට දියත් කර ඇත. මීට පෙරදී වාර්තාවල කියැවුණේ එය 2020 වසරේදී ක්‍රියාත්මක වීම අරඹන බවය. කෙසේ වෙතත් චීනය මෙම නෞකාව දියත් කළේ මෑතක සිට අමෙරිකාව හා උතුරු කොරියා අතර ඉහළ නගිමින් පවතින උණුසුම් තත්ත්වය මධ්‍යයේය. 

මේ දක්වා චීනය සතුව පැවතියේ එක ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් පමණි. ලියාඔනිං නම් වූ එය යුක්‍රේනයෙන් මිලට ගත් නවීකරණය කරන ලද්දකි. 

තවමත් නම් කර නොමැති නව ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාවට ෂෙන්යැං J-15 වර්ගයේ ප්‍රහාරක යානා ගෙන යා හැකිය. එහෙත් අමෙරිකාව සතු ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකා 10ට වඩා තාක්ෂණික වශයෙන් අඩු මට්ටමක ඇති බව යුද විශ්ලේෂකයන් කියා තිබේ. 

පසුගිය දිනවල අමෙරිකාව විසින් කොරියානු අර්ධද්වීපය වෙත යූඑස්එස් කාල් වින්සන් ප්‍රමුඛ යුද නෞකා මෙන්ම යූඑස්එස් මිචිගන් මිලයිල සන්නද්ධ සම්මරිනය යැවීම උතුරු කොරියාවේ කෝපයට හේතුවිණි. මතුව ඇති තත්ත්වය හමුවේ සන්සුන්ව ක්‍රියා කරන්නැයි චීනය ඉල්ලා සිටියේය. 

කෙසේ වෙතත් මේ තත්ත්වය මධ්‍යයේ චීනය විසින් දියත් කරන ලද යානා ප්‍රවාහන නෞකාව එරට මේ වනවිට සතු වසර 25ක් පැරැණි ලියාඔනිං නැවට වඩා සුවිශේෂ වැඩිදියුණු කිරීමකින් යුතු නෞකාවක් ලෙස සැලකේ. යුක්‍රේනයෙන් මිලදී ගෙන තිබුණු ලියාඔනිං නැව නවීකරණය කරන ලද පැරැණි සෝවියට් සමුහාණ්ඩුවට අයත් වූ එකකි.