2017 ජුනි 24 වන සෙනසුරාදා

ISIS තමන්ගේ පල්ලියත් පුපුරවයි

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 219

ඉරාකයේ මොසුල් නගරයේ තිබූ ඓතිහාසික අල් නුරායි පල්ලිය සහ එහි ඇලවෙන ප්‍රසාද කුළුණ පුපුරවා දැමීමට අයිසිස් කල්ලිය ක්‍රියාකළ බවට දැන් චෝදනා නැගී තිබේ. 1172දී තැනූ වසර 800කට වඩා ඉපැරැණි මේ පූජ්‍ය ස්ථානයට අයත් ඇලවෙන ප්‍රසාදය මුදුණේ පසුගිය කාලය තුළ අයිසිස්වරුන්ගේ කළු සුදු ධජය ලෙලදුන්නේය. එය 14 වැනි සියවසේ එතැනට පැමිණි ඉබන් බතුතා නමින් නම්කර තිබුණි. 

පල්ලියේ පාදමට පුපුරණ ද්‍රව්‍ය සවිකර බදාදා එය සමතලා කර ඇති බව අමෙරිකාව සහ ඉරාක හමුදා ප්‍රකාශ කළේය. නමුත් අයිසිස්වරු මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ අමෙරිකානු සහ ඉරාක ගුවන් ප්‍රහාර මගින් පල්ලිය සමතලා කර ඇති බවය.

2014 ජූලි හතරවැනිදා මේ පල්ලියට ඓතිහාසික දිනයකි. කළු තුර්බානයකින් සහ ලෝගුවකින් සැරුසුණු අබු බකර් අල් බැග්ඩාඩි එදින සිකුරාදා මෙහෙය අවසන මුල්වරට මුස්ලිම් අධිරාජ්‍යය ප්‍රකාශයට පත් කළේ එදිනය. ඔහු සුන්නි මුස්ලිම්වරුන්ගෙන් ශුද්ධ වූ යුද්ධයට එක්වන ලෙස ඉල්ලා සිටියේ එදිනය. අයිසිස් ප්‍රධානියා ප්‍රසිද්ධියේ සිය ආධාරකරුවන් ඇමැතූ මුල්ම සහ අවසාන වතාවද එයයි. පල්ලියේ සිටි මුල් ඉමාම්වරයා එයට මාසයකට පෙර ඝාතනය කර තිබුණි.

ත්‍රස්ත නායකයාගේ අල් නුරානි පල්ලියේ ඒ ඓතිහාසික ප්‍රකාශයත් සමග සිරියාව සහ ඉරානය අතර දේශසීමා බිඳවැටුණු අතර දහස් ගණන් විදේශික සටන්කරුවෝ අයිසිස් වෙත ඇදී එන්නට වූහ. දැන් මේ වනසා ඇත්තේ අයිසිස්වරුන් උපත ලද එම ඓතිහාසික ස්ථානයයි.

සැබෑවටම අල්-නූරි පල්ලිය ජයග්‍රාහී එල්ලයක් බවට පත්ව තිබුණේ ඉරාක හමුදාවටය. එහි බලය අතට ගැනීම සිය යුද ජයක් ලෙස ඔවුහු තීන්දු කර තිබුණි. නමුත් ඉරාක හමුදාව දැන් කියන්නේ සිය හමුදා ළඟාවීම දරාගත නොහැකි වූ අයිසිස් ත්‍රස්තවාදීහු මෙය පුපුරවා දැමූ බවය.