2017 ජුනි 17 වන සෙනසුරාදා

ඔබාමාගේ පරණ කෝට්

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

හිටපු ජනාධිපති බරක් ඔබාමා බලයේ සිටි අවුරුදු අටක කාලය පුරාම රාත්‍රී භෝජන සංග්‍රහ සඳහා අඳින ලද්දේ එකම උඩ කබායක් බව ඔහුගේ බිරිය මිෂෙල් ඔබාමා හෙළි කළාය.

අමෙරිකානු ජනාධිපතිවරයා හැටියට කටයුතු කළ නිල කාල පරිච්ඡේද දෙක තුළ සියලු නිල උත්සව සඳහා සැරසුණ එම උඩු කබායට තම සැමියා බෙහෙවින් ඇලුම් කළ බව ඈ කියා තිබුණි.

ඒ ඒ අවස්ථා සඳහා සැරසිය යුතු ඇඳුම් සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් කටයුතු කළ ජනාධිපති ඔබාමා 1960 දශකයේ මුල්භාගයේ බලයේ සිටි ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගෙන් පසු ඉතා පිළිවෙළට ඇඳුම් අඳින ලද ජනාධිපතිවරයා ලෙසද සැලකෙයි. එසේ වුවද අලුත් අලුත් විලාසිතා පසුපස හඹා නොගිය ඔබාමා ඇඳුම් සඳහා වැඩි කාලයක් මිඩංගු නොකළ පරණ කෝට්කාරයකු බව දැන් මිෂෙල්ගේ ප්‍රකාශය තහවුරු කර තිබේ. නිල උත්සවවලදී කළු පැහැති පහසු ඇඳුම් කට්ටලයකින් සැරසෙන ජනාධිපති බරක් ඔබාමා විවේක අවස්ථාවන්හිදී ඔහු ආශා කළ තවත් ඇඳුම් විලාසිතාවක් වන Mom jeans කලිසමෙන් සැරසෙයි.

Mom jeans යනු 1980 සහ 1990 දශකයන්හි කාන්තා කලිසමක් සෝපාහාසත්කමව හැඳින්වීමට නිර්මාණය කෙරුණ යෙදුමකි.

එම විලාසිතා ගණයට වැටෙන පිරිමි කලිසම (Dad jeans) ඉතා පහසු සැහැල්ලු ඇඳුමකි.

ඇඳුම් පිළිබඳව තමා හැම මොහොතකම බෙහෙවින් සැලකිලිමත් වෙන නමුත් සිය සැමියා ධවල මන්දිරයේ ගත කළ නිල කාල දෙක පුරාම එකම කබායකින් උත්සව සඳහා සහභාගී වූ බව කියන මිෂෙල් තමන්ගේ ජේත්තුකාර විලාසිතා ගැන කතා කරන අය ඔබාමාගේ පරණ කෝට් සහ සපත්තු ගැන කතා නොකිරීම දකින්නේ අසාධාරණයක් ලෙසිනි.