2017 ජුනි 10 වන සෙනසුරාදා

කොමේනි සමාධියට ISIS ප්‍රහාරයක්

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

මැයි මාසයේ අමෙරිකානු ජනාධිපතිවරයා ලෝකයේ රටවල් හමුවට ගිය සිය ප්‍රථම සාම චාරිකාව අවසන් වී සතියක් ගතවන්නටත් පෙර මැදපෙරදිග සාමය බිඳී ගියේය. මූලධර්මවාදී අයිසිස්වරැ මුල්වරට ඉරානයට ප්‍රහාර දෙකක් පසුගිය බදාදා එකවර එල්ල කළේය.

ඉරානයේ පාර්ලිමේන්තුව තුළට කඩාවැදුණු හතර දෙනෙකුගේ කණ්ඩායමක් එහි සිටි ආරක්ෂකයන්ට ප්‍රහාර එල්ල කළ අතර මේ කණ්ඩායමට මරාගෙන මැරෙන බෝම්බකරුවෙක්ද අයත් වූහ. ඉරාන ආරක්ෂක හමුදා ඔවුන් මරා දැමීමට සමත් වූහ. ඒ අතර තවත් ප්‍රහාරකයන් දෙදෙනෙක් ඉරානයේ මෙන්ම ලෝකය පුරා විසිරී සිටින ෂයිටි මුස්ලිම්වරුන්ගේ වන්දනාවට ලක්වන හිටපු අධ්‍යාත්මික නායක අයතොල්ලා කොමෙනිගේ සමාධිය අසලට කඩා වැදුණහ. මරාගෙන මැරෙන බෝම්බකාරියකුද කොමෙනි සමාධිය වෙත ප්‍රහාරයට එක්ව සිටියාය.  මේ දෙදෙනා තැබූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 12 දෙනකු මියගිය අතර 42කට ආසන්න පිරිසක් තුවාල ලදහ. ටෙහෙරානයේ සිට දකුණුකරයට වන්නට පිහිටා ඇති මෙම සමාධිය එරට ප්‍රථම වරට ඉස්ලාමීය ජනරජයක් බවට පත් කරන්නට කටයුතු කළ සහ වසර 10ක් එහි අධ්‍යාත්මික නායකයා ලෙස කටයුතු කළ අයතොල්ලා කොමේනිගේ දේහය තැන්පත් කළ ස්ථානයයි. රටපුරා මුස්ලිම්වරැ විශේෂ ආගමික දින සහ විවේක දිනවල මේ ස්ථානයට වන්දනාව සඳහා පැමිණෙති.  එය ලෝ පුරා සංචාරකයන්ද ආකර්ෂණය කරගත් ස්ථානයකි. මේ ස්ථානයට වන්දනා කිරීමෙන් දරුඵල ලබාගත හැකි බවටත්, ලෙඩ රෝග සුවවන බවටත් විශ්වාසයක් රට තුළ පවතී. අයිසිස්වරු ඉරානය තුළ පළමු ප්‍රහාරය එල්ල කර ඇත්තේ එවන් අතිශය සංවේදී මර්මස්ථානයකටය.

මේ ප්‍රහාරය පිළිබඳ අමෙරිකානු ජනාධිපතිවරයාගේ සාම සංචාරය හා ඔහු එහිදී ඉදිරිපත් කළ යෝජනා සමග අත්වැල් බැඳගත් සෞදි අරාබියට ඉරාන විප්ලවීය හමුදාව දෝෂාරෝපණ එල්ල කර තිබේ. ඒ අතර ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් කියා තිබුණේ ඉරානය තමන්ම වවාගත් දේ දැන් නෙලා ගන්නා බවටය. ඉරානයට මින් පෙර තදබල ප්‍රහාරයක් එල්ල වූයේ 2010 දීය. සුන්නි අන්තවාදී තිදෙනෙකු සිස්ටාන්හි මුස්ලිම් පල්ලියකට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් එවර 39ක් මියගියහ. රටේ වයඹ දිග ප්‍රදේශයේ කුර්දිස්වරැන්ගේ ප්‍රහාර වරින්වර වර්තාවේ. එසේ වුවද අයිසිස්වරැ ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේ මේ මුල්වරටය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00