2017 ජුනි 03 වන සෙනසුරාදා

කාබුල් දෙදරයි. 100ක් බිලිවෙති

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 143

පසුගිය බදාදා උදෑසන 8.30ට කාබුල් නගරය නැවත දෙදරුම් කෑවේය. ඒ නගරයේ තානාපති කාර්යාල රැසක් සහ රජයේ ප්‍රධාන ගොඩනැගිලි කිහිපයක්ද සහිත තදබල ආරක්ෂාවක් යොදා තිබූ සැන්බාක් චතුරස්‍රය වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙනි. බෝම්බ රථයක් පුපුරවා හැරීමෙන් සිදුකළ මේ ප්‍රහාරය හේතුවෙන් කුඩා දරුවන් කාන්තාවන් ඇතුළු 100කට වැඩි පිරිසක් මියගියහ. 450කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර රථවාහන 50කට වැඩි ප්‍රමාණයක් සුන්බුන් බවට පත්ව තිබුණි.

 

 කියන සැන්බාක් චතුරශ්‍රය ආශ්‍රිතව ජර්මනිය, ඉන්දියාව, ජපානය, ප්‍රංශය සහ අමෙරිකානු රජයන්ට අයත් තානාපති කාර්යාල පිහිටා තිබේ. ඒ හැර රජයේ ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපති මන්දිරය මෙන් ජාතික ආරක්ෂක මධ්‍යස්ථානයද පිහිටා ඇත. වාහන බෝම්බයෙන් ජර්මන් තානාපති කාර්යාල ගොඩනැගිල්ලට බරපතළ හානි සිදුව තිබේ. පිපිරුණු ස්ථානයේ මීටර 5කට වැඩි ගැඹුරු ආවාටයක් හෑරී තිබේ.

2016 ජූලි 23 වැනිදා ඇෆ්ගන් පාර්ලිමේන්තුව අසල රැළියකට එල්ල වූ මෙබඳුම ප්‍රහාරයකින් 90ක් මියගියහ. එතැන් සිට මේ දක්වා කාබුල් නගරය වෙත ප්‍රබල මට්ටමේ ප්‍රහාර 6ක් එල්ල වී තිබේ.

එයින් මේ වසරේ ජනවාරියේ 10 වැනිදා සිදුවූ ප්‍රහාරයෙන් 36ක් මියගිය අතර තලිබාන්වරු එහි වගකීම බාරගත්හ. මාර්තු 8 වැනිදා එල්ල වූ ප්‍රහාරය අමෙරිකානු තානාපති කාර්යාලය අසල සිදුවූ අතර එය අයිසිස්වරුන්ගේ වැඩක් බව වාර්තා විය. එයින් 30 දෙනකු මරුමුවට පත්වූහ. මෙවර සිදුවූ ප්‍රහාරය මේ අතරින් දරුණුතම එකක් බව වාර්තා වේ. මරණ සංඛ්‍යාව මෙයට වැඩිවිය හැකි බවටද ආරක්ෂක ආරංචි මාර්ග සැක පහළ කර තිබුණි. පිට පිට ප්‍රහාර එල්ල වෙද්දී ඇෆ්ඝන් අගනගරයේ ආරක්ෂාව නිසි පරිදි සැලසීමට අසමත්වීම ගැන රජයේ හමුදාවන්ට මෙන්ම 8400ක් පමණ වන අමෙරිකානු හමුදාවන්ටද දෝෂාරෝපණ එල්ල වී තිබේ.