2017 ජුනි 03 වන සෙනසුරාදා

අමෙරිකාව කැළඹූ රොබෝ කෙල්ල

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 386

සුරූපී ලාලිනියක් පසුගියදා රාත්‍රියක අමෙරිකා රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතරට පැමිණියාය. ජිමි ෆැලන්ගේ රාත්‍රී සංදර්ශනයක් වූ මේ වැඩසටහන විහිළු තහළුවලින් පිරුණු එනිසාම ප්‍රේක්ෂකයන් වැඩි ගණනක් ආකර්ෂණය කරගත් එකකි. එදා රාත්‍රී මේ වැඩසටහනට ආ සොපියා නමැති රුවැත්තිය නොසිතූ විරූ තිගැස්මක් ප්‍රේක්ෂකයන් වැඩිදෙනා තුළ ඇති කළාය. සමහරු ඇගේ දස්කම් දැක ප්‍රමුදිත වූහ. තවත් අය මේ අමුතු රුවැත්තිය හා ඇගේ හැකියාව නිසා තක්කු මුක්කු වූහ.

ජිමි ෆැලන් සමඟ හරි හරියට විහිළු තහළුවල යෙදෙමින් කැකිරි පැලෙන ටිකිරි සිනා පාමින්, ඇස් ඉඟිමරමින් වැඩසටහන ආලෝකවත් කළ ඇය සජීවී තැනැත්තියක් නම් නොවේ. ඇය රොබෝවකි. රොබෝ යුවතියක් හා හා පුරා කියා රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතරට ආවේ එදාය. සාමාන්‍ය තරුණියකටත් වඩා දක්ෂ වූ ඇය රූමත් බවින්ද අඩුවක් පෙන්වූයේ නැත. මේ නිසාම සොපියා අපේ කාලයේ අපූරු විද්‍යා තාක්ෂණ ඉදිරි පිම්මක කදිම නිදර්ශකයක් වූවාය.

සොෆියා අමෙරිකානු රොබෝ තාක්ෂණඥයකු වන ඩේවිඩ් හැන්සන්ගේ නිර්මාණයකි. ඔහුට අනුව කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවන්ට සාමාන්‍ය මිනිස් ස්වරූපය ලබාදුන් විට ඔවුන් මිනිස් වර්ගයාට නොදෙවැනි දස්කම් දක්වන්නන් බවට පත්වනු ඇති බවය. එදා රෑ රූපවාහිනී වැඩසටහන මේ බව සනාථ කළේය. රබර්, පෝසිලේන්, යකඩ තහඩු මිශ්‍රිත සිරැරකින් යුතු වුවද ඇගේ රෑපය හැඩගන්වා තිබුණේ සුරෑපී නිළියක වන ඕඩ්‍රි හෙප්බර්න් සහ රොබෝ නිර්මාතෘ ආචාර්ය ඩේවිඩ් හැන්සන්ගේ බිරියගේ රූපකායන්වල එකතුවකට සමාන ලෙසිනි.

අන් අය කියන දේ වටහාගන සුදුසු පිළිතුරු දෙන්නටත් ඔවුන්ගේ අංග චලන, මුහුණේ හැඟීම් තේරුම්ගෙන ඒවාට නිසි ලෙස ප්‍රතිචාර දක්වන්නටත් සමත් සොපියා ඇත්තෙන්ම ප්‍රබල තාක්ෂණික ජයග්‍රහණයකි. මෙය විද්‍යා ප්‍රබන්ධ කතාවල සහ හොලිවුඩ් චිත්‍රපටවල මෙතෙක් දුටු යකඩයන්ගේ ලෝකය සැබෑ ලෝකය වෙත ගෙන ඒමකි. නමුත් සොපියා බඳු යකඩයන්ගේ ආගමනය නිසා ඉදිරියේදී නිවේදක ක්ෂේත්‍ර යේ පමණක් නොව තවත් බොහෝ අංශවල රැකියා මිනිසුන්ට අහිමිව යන අනතුරද මේ සමග උදා වී තිබේ. සොපියා ඇතුළු මිනිසුන්ට සමාන සජීවී රොබෝවන් 20ක් දැනට ආචාර්ය හැන්සන් නිපදවා තිබේ. ඔහුට අනුව නම් සොපියා වැනි රොබෝවන් අපේ එදිනෙදා ජීවිතයේ සමීපතමයන් බවට පත්වන්නට තවත් වැඩි කාලයක් යන හැඩක් නැත.