2017 ජුනි 03 වන සෙනසුරාදා

පිලිපීනයේ කැසිනෝවක 36ක් මරා දමයි

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

පිලිපීනයේ මැනිලා නුවර කැසිනෝ හලකට කඩාවැදුණු තනි පුද්ගලයකුගේ අබිරහස් ප්‍රහාරයක් නිසා 36 දෙනකු මිය ගියේය. සිකුරාදා පාන්දර සිදුවූ මෙම ප්‍රහාරය මගින් මියගිය බොහෝ දෙනා කාන්තාවන්ය. ඔවුන් මියගොස් තිබුණේ වෙඩි වැදීමෙන් නොව හුස්ම හිරවීමෙන් බව වාර්තා වී තිබේ.

මාරාවි නගරයේ ගැටුම් උග්‍රවෙයි

රිසෝර්ට් වර්ල්ඩ් කැසිනෝ නැමැති මෙම විනෝද ක්‍රීඩාගාරයට බ්‍රහස්පතින්දා මැදියම් රැයේ සැකකරු ඇතුළු වන අයුරු ආරක්ෂක නිලධාරිනියක් දැක ඇත. ඔහු අත තිබූ ස්වයංක්‍රීය රයිෆලය දුටු පිරිස කලබලයට පත්ව දිවි බේරාගැනීමට දිවගොස් තිබේ. වෙඩි සද්ද මතුවනු හා ඒ සමඟ දුමාරයක් පැතිර යන අයුරුද නිරීක්ෂණය කර තිබේ. ජනෙල් දොරවල් වසා බිම කාපට් දමා ඇති කැසිනෝවේ මියගිය බොහෝ දෙනා සිට ඇත්තේ වැසිකිළි සහ කැසිකිළි තුළය. පසුව සැකකරුගේ සිරුර පස්වැනි මහලේ තිබූ කාමරයකදී සොයාගනු ලැබිණි. ඔහු සියදිවි නසාගන තිබුණි. හඳුනාගැනීමට අපහසු සේ පිළිස්සී තිබූ ඔහුගේ සිරුර අසල මැෂින් තුවක්කුවක් සහ 0.38 පිස්තෝලයක්ද තිබී ඇත. මේ පුද්ගලයා ඩොලර් මිලියන දෙකහමාරක් වටිනා කැසිනෝ චිප් එක්රැස් කරගන තිබුණි.

පිලිපීනයේ දකුණු මින්දනාවෝ අසල මාරාවි නගරය මේ වනවිට දින 8ක කාලයක් සටන් භූමියක්ව පවතී. ISIS ත්‍රස්තයන් හිතැති මෝටේ කැරලිකරුවන් හා හමුදාව අතර මේ සටන් ඇවිල තිබේ. මේ සිවිල් යුද්ධය නිසා දැනට හමුදාවේ 38ක්ද සිවිල් වැසියන් 20ක්ද ත්‍රස්තවාදීන් 120ක්ද මියගොස් තිබේ. මැනිලා නගරයේ ප්‍රධානතම කැසිනෝවේ සිදුවූ මෙම ප්‍රහාරයද ISIS වැඩක් යැයි ප්‍රචාරය වුවද එය එසේ නොවන බව බලධාරීහු කියති. මෙය කොල්ලයක් මිස ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බව ඔවුන්ගේ අදහසයි.

රටපුරා හමුදා නීතිය පැනැවෙන ලකුණු

මේ ප්‍රහාරය හේතුවෙන් අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළද පැය දෙකකට වසා දැමිණි. ජනාධිපති ඩුටරේට් මින්දනාවෝ දූපත ප්‍රදේශයේ හමුදා නීතිය පනවා තිබූ අතර මේ සිද්ධියත් සමග එම හමුදා නීතිය රටපුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇතැයි සැකකෙරේ.