2017 මැයි 27 වන සෙනසුරාදා

ලන්ඩනයට යුද හමුදාව

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

මහා බ්‍රිතාන්‍යය කැළඹූ මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ ප්‍රහාරක ජාලයක් සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. පසුගිය සඳුදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව රටපුරා විශේෂ ආරක්ෂක රැකවරණ ක්‍රියාත්මක කෙරෙමින් ඇති බව සංකේතවත් කරමින් මේ වනවිට ලන්ඩන් නගර කේන්ද්‍රයේ යුද හමුදා භටයන් ස්ථානගත කරනු ලැබ ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ අගමැති නිල නිවස ඇතුළු ප්‍රධාන ස්ථානයන්හි ද යුද හමුදාව යොදවා තිබෙනු දක්නට ලැබෙයි. වෙනදා පොලිසිය ක්‍රියාත්මක වෙන ස්ථානයන්හි මෙලෙස යුද හමුදාව යොදවා තිබීම, බ්‍රිතාන්‍ය සමාජයේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන දර්ශනයකි. 

සඳුදා (මැයි 22) රාත්‍රියේ මැන්චෙස්ටර් ගෘහස්ත රඟහලේ පොප් සංගීත ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටි ගීත ලෝලීන් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ දී විසි දෙදෙනකු මරණයට පත් වූ අතර තවත් එකසිය දහනව දෙනකු තුවාල ලැබ රෝහල්ගත කරනු ලැබුණි. ඔවුන් අතරින් බරපතළ තුවාල ලද විසි දෙනකු පමණ තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. සඳුදා රාත්‍රියේ ප්‍රහාරය එල්ල කරන ලද තැනැත්තා සල්මන් අබේඩි නමැත්තකු යයි හඳුනාගනු ලැබ ඇති අතර, ප්‍රහාරකයා ඔහු වුවද පාවිච්චියට ගෙන ඇති බෝම්බය නිෂ්පාදනය කරන ලද්දේ වෙනත් පුද්ගලයකු විසින්ය යන්න බ්‍රිතාන්‍ය පොලිසියේ විශ්වාසයයි. එම විශ්වාසය යටතේ ප්‍රහාරකයන් විසින් පවත්වාගෙන යනු ලබන බෝම්බ කර්මාන්ත ශාලාවක් සොයාගැනීම ඉලක්ක කර ගනිමින් පොලිස් සෝදිසි කිරීම් මේ වනවිට ආරම්භ කරනු ලැබ ඇත.

ඒ අනුව මැන්චෙස්ටර් නගරයේ සිදුකළ සෝදිසි කිරීම්වලදී තිදෙනකු අත්අඩංගුවට ගන්නා ලද බව පොලීසිය පවසයි. මැන්චෙස්ටර් ප්‍රහාරය සම්බන්ධයෙන් අඟහරුවාදා (මැයි 23) පුද්ගලයකු අත්අඩංගුවට ගත් අතර ඔහුත් සමඟ මේ වනවිට අත්අඩංගුවට ගනු ලැබ සිටින සංඛ්‍යාව හතර දෙනෙක් වෙති.

අඟහරුවාදා අත්අඩංගුවට ගන්නා ලද විසිතුන් හැවිරිදි පළමු සැකකරු බෝම්බ ප්‍රහාරය එල්ල කළ සල්මන් අබේඩිගේ සහෝදරයෙකි. අබේඩි සහෝදරයෝ ලිබියානු සම්භවයක් සහිත පවුලක සාමාජිකයෝ වෙති. ඔවුන්ගේ පියාද අල්ඛයිඩාව හා සම්බන්ධ තැනැත්තෙකි. එහෙයින් මැන්චෙස්ටර් බෝම්බය, බෝම්බ පවුලක වැඩකි.