2017 මැයි 13 වන සෙනසුරාදා

TRUMP ගෙදර යයි!

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 207

කෙළින් වැඩකරන පැත්තක් නොගන්නා තැනැත්තකු ලෙස ප්‍රසිද්ධ ජේම්ස් කෝමේ ඉවත් කිරීම ජනාධිපති ට්‍රම්ප්ගේ ඉදිරි ගමනට දැඩි බලපෑමක් වනු ඇති බවට දැන් කතා පැතිර තිබේ. ට්‍රම්ප් ගින්දර සමඟ සෙල්ලම් කරන බව එක් විචාරකයෙක් පෙන්වා දී තිබුණි. ට්‍රම්ප් මේ අනුගමනය කරන්නේ දෝෂාභියෝගයක් කරා ගිය රිචර්ඩ් නික්සන්ගේ මුල් පියවර බවට විවේචන එල්ල වී තිබේ. ඩෙමොක්‍රටික් පාක්ෂිකයන් වෙතින් දැන් ට්‍රම්ප්ට එරෙහිව එබඳුම දෝෂාභියෝගයක් ඉදිරිපත්වීමට නියමිතය. ඔවුන් කියා ඇත්තේ තමන්ගේ රුසියානු සබඳතා හෙළිදරව් වීම වැළැක්වීම අරමුණු කොට FBI ප්‍රධානියා ගෙදර යැවුවා නම් එයම දෝෂාභියෝගයකට නිමිත්තක් වන බවය. ඒ නිසා FBI ප්‍රධානියා ගෙදර යැවූ ට්‍රම්ප්ටද දැන් ගෙදර යාමට සිදුව ඇති හැඩකි. FBI සහ කෝමේ විසින් හිලරි ක්ලින්ටන්ගේ රහස්‍ය ඊමේල් පණිවුඩ පිළිබඳ සිදුකළ හෙළිදරව්ව ජනාධිපති ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට වක්‍රව බලපෑ බවට කතාබහ පැතිර තිබුණි. එසේම ට්‍රම්ප් සහ රුසියාව අතර සිදුවූ ගනුදෙනුවක් ගැනද කෝමේ ප්‍රධාන FBI එළිදරව් කර තිබුණි. මෙහි ඇති වඩාත් අපූරු සිද්ධිය වන්නේ රුසියානු විදේශ ඇමැති ලවිරෝව් අමෙරිකාවේ සාකච්ඡාවක් සඳහා FBI ලොක්කා පැන්නූ දිනට පසුදාම පැමිණීමය.

FBI ආයතනයේ අධ්‍යක්ෂ ජේම්ස් කෝමේ “සේවයෙන් ඉවත්කොට ධුරයෙන් පහකරන ලදී” යනුවෙන් ධවල මන්දිරය විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්ය. හිලරිගේ ඊමේල් පණිවුඩ පිළිබඳ හෙළිදරව්ව නිවැරුදි නොවීම මේ සඳහා හේතු වූ බවට එහි සඳහන්ය. නමුත් ඩිමොක්‍රටික් පක්ෂය පවසන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය හා රැසියාව අතර තිබූ බව පැවසෙන සබඳතා සම්බන්ධයෙන් FBI ආයතනය විසින් ගෙන යනු ලැබූ පරීක්ෂණ අධ්‍යක්ෂවරයා සේවයෙන් පහ කිරීමට හේතු වී ඇති බවය.

ජනාධිපතිවරයා විසින් එම තීන්දුව ගනු ලැබ ඇත්තේ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ගේ විද්‍යුත් තැපැල් පිළිබඳ ජේම්ස් කෝමේ කොංග්‍රස් මණ්ඩලය වෙත නිවැරදි නොවන තොරතුරු ලබාදී ඇතැයි හෙළිවීමත් සමගය.
ජේම්ස් කෝමේ, ලොස් ඇන්ජලීස් නගරයේ දී FBI ඒජන්තවරුන් අමතමින් සිටින අවස්ථාවේ තමන් සේවයෙන් පහකොට ඇති බව රූපවාහිනී පුවතක් ඔස්සේ දැන ගැනීමට ලැබී තිබුණි. එම පුවත දුටු පනස් හය හැවිරිදි ජේම්ස් කෝමේ එය සරදමක් යැයි සිතා සිනාපළකොට ඇත.

පුරප්පාඩු වූ FBI අධ්‍යක්ෂ ධුරයට සුදුස්සෙකු තෝරා පත්කර ගැනීම සඳහා වහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය. අමෙරිකානු ඉතිහාසය තුළ FBI රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂවරයෙකු එම ධුරයෙන් පහ කරන ලද දෙවන අවස්ථාව මෙයයි. මුල් අවස්ථාව උදාවූයේ රිචර්ඩ් නික්සන්ගේ කාලයේදීය. එය ඔහුටම පසුව පාරාවලල්ලක් බවට පත්වූ බව කියයි. නික්සන්ට වූ දේම දැන් ට්‍රම්ප්ට සිදුවිය හැකි බව විචාරක මතයයි.