2017 මැයි 13 වන සෙනසුරාදා

කොරියන් පෙරළිය

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

කොරියානු කලාපයේ දේශපාලන සහ ආරක්ෂක තත්ත්වය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබියදී දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා ලෙස ලිබරල් අපේක්ෂක මුන් ජේ ඉන් දිවුරුම් දුන්නේය. දකුණු කොරියාවේ වත්මන් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන මූන් ජේ-ඉන් අසල්වැසි උතුරු කොරියාව සමග සමීප සංවාදයක් පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටී.

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හෙයිට එල්ල වූ මහා පරිමාණ දූෂණ චෝදනා හමුවේ ඇයට එරෙහිව දෝෂාභියෝගයක් පැවැත්විණි. ඒ හමුවේ හිටපු ජනාධිපතිනියට සිය ධුරයෙන් ඉවත්වීමට සිදුවූ අතර නිසි කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවූයේ ඒ සමගය.

දේශපාලනික වශයෙන් උපකාර ලබාගැනීම පිණිස ඇතැම් දකුණු කොරියානු සමාගම්වලට මූල්‍යාධාර ලබාදෙන ලෙස බලකිරීමට තම හිතවතිය හරහා කටයුතු කිරීම පිළිබඳමව හිටපු ජනපතිනියට චෝදනා එල්ල වී ඇත.

උතුරු කොරියාවේ සිට පැමිණි සරණාගතයකුගේ පුතකු වන ඔහු දකුණු කොරියාවේ විශේෂ හමුදා බලකායක හිටපු සාමාජිකයකු ලෙස කටයුතු කළේය. ඉන්පසුව මානව හිමිකම් නීතිවේදියෙකු වශයෙන් කටයුතු කළේය. ඔහු විසින් තමන් හඳුන්වා ගනු ලබන්නේ පැවැති පාලන සමයේ සිදුවූ අක්‍රමිකතාවලට තිත තබා රට ඉදිරියට රැගෙන යා හැකි පුද්ගලයෙකු වශයෙනි.

2012 වසරේ පැවති ජනාධිපතිවරණයේදී හිටපු නායිකා පාක් ගුන් හෙයිට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග කළ ඔහු ඉන් පරාජයට පත්විය. දකුණු කොරියාවේ වත්මන් විදේශ ප්‍රතිපත්තිය වෙනස් කළ යුතු බව කියන ඔහු කලාපීය සාමය පතා උතුරු කොරියාව සමග සාම කතාබහකට එළැඹීමට කැමැත්ත පළකර තිබේ. ඒ අනුව කාලාන්තරයක් පැවැති උතුරැ දකුණු විරසකය සංහිඳියාවකට පත්වන ලකුණු පහළ වී තිබේ.