2017 මැයි 07 වන ඉරිදා

වෙනිසියුලාව ගිනි ගනියි

 2017 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 10:27 122

වෙනිසියුලා රාජ්ජය තුළ පසුගිය සතියේ මහා ගින්නක් ඇවිල ගියේය. ජනතාව පෙළන කුසගින්න නිසාය. ජනතාව කුසගින්නෙන් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයෙන් පෙළෙන අතර රටට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම කල් දමමින් ජනාධිපති නිකොලස් මදුරෝ බලය රඳවා ගැනීමට දරන ප්‍රයත්නය හේතුවෙන් මේ ගින්න කෙමෙන් කෙමෙන් පසුගිය සමය තුළ අළු යට ගිනිපුපුරු ලෙස හිස ඔසොවමින් තිබුණි. නොබෝදා ඇවිල ගියේ ඒ ගින්නය.

කරකාස් නගරයේ වීදි බට ජනතාව පාර්ලිමේන්තුව වටලා ඒ වෙත එද්දී කැරලි මර්දන පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. ජනතාව එයට පිළිතුරු දුන්නේ ගල් මුල්වලින් සහ පැට්‍රල් බෝම්බ වලිනි. මේ අතර විරෝධතාකරුවකුගේ සිරුර එකම ගිනි ජාලාවක් බවට පත්ව ඇවිල ගියේ පොලිස් මෝටර් සයිකලයක ඉන්ධන ටැංකිය පුපුරා යාමත් සමගය. ඇවිලෙන ගිනිබෝල දෙකක් බවට පත්වූ විරෝධතාකරුවන් දෙදෙනකුගේ ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රසිද්ධ විය. මේ දෙදෙනා පසුව දිවි බේරාගත් බව සැබෑ නමුත් බස්රථයක් පෙරැළීයාමෙන් සහ පොලිස් ප්‍රහාරවලින් 4 දෙනකු මිය ගියෝය. 

ජනාධිපති මදුරෝගේ පාලන කාලය 2018 දී අවසන් වීමට නියමිතය. ඔහු උත්සාහ දරන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගැන කල්මරමින් තමන්ට වාසිදායක අවස්ථාවක් උදාකර ගන්නටය. තෙල් සරුසාර රටක් වුවද වෙනිසියුලාව දැන් ඇත්තේ බින්දු තුනක උද්ධමන මට්ටමකය. වෙනිසියුලාවේ ව්‍යවස්ථාව මෙයට පෙර නැවත ලියැවුණේ 1999 දී හියුගෝ චාවේස්ගේ කාලයේදීය. ඔහු එම ව්‍යවස්ථාවේ සාක්කු ප්‍රමාණයේ පිටපතක් නිතර සාක්කුවෛන් පිටතට ගෙන ජනතාවට පෙන්වූයේ මෙන්න බයිබලයට පසු අපේ බයිබලය යනුවෙනි. ඔහු මේ ව්‍යවස්ථා පොත පෙන්වමින් වසර 14ක් රට කළේය. දැන් ඔහුගේ අනුප්‍රාප්තිකයාද අලුත් ව්‍යවස්ථා පොතක් ගැන පොරොන්දු වී තිබේ. නමුත් ඔහුම මේ ව්‍යවස්ථා පොත ලිවීම දැන් කල්දැමීමට තීන්දු කර තිබේ. විරෝධය පෙරට ආවේ ඒ හේතුවෙනි. ඉදිරි මැතිවරණයකදී මදුරෝ හට මෙන්ම ඔහුගේ සමාජවාදී පක්ෂයටද ඇපත් අහිමිව යන බවට වාර්තා ලැබී තිබේ. විපක්ෂය ඇතුළු පොදු ජනතාව විරෝධය පා පාරට බැස ඇත්තේ මාස ගණනක සිටය. මේ වනවිට 34ක් මදුරෝට එරෙහි සටනට දිවිපුදා තිබේ. සිය ගණනක් තුවාල ලැබූහ. මදුරෝ පන්නන තුරු සටන අතහරින්නට ඔවුන් සූදානම් නැති බව කියා තිබේ.