2017 මැයි 07 වන ඉරිදා

දඟ සැමියන්ට පිති ප්‍රහාරයක්

 2017 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 09:58 181

සිය අනාගත සැමියන් පීඩාකාරී ලෙස හැසිරෙන්නේ නම් ඔවුන්ට පහරදීම සඳහා මනාලියන් වෙත ලීයෙන් නිම කළ පිති (බැට්) ලබාදීමේ අපූරු පුවතක් ඉන්දියාවෙන් වාර්තා විය. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුව විසින් සංවිධානය කරන ලද සමූහ විවාහ මංගල්‍යයකදී යුගදිවියට පත් මනාලියන් හත්සිය දෙනෙකු වෙත එම පිති මුල්වරට බෙදාදුන්නේය. ස්වාමිපුරුෂයන් පීඩාකාරී ලෙස හැසිරෙන්නේ නම් අවියක් වශයෙන් එම පිති යොදාගන්නා ලෙස මනාලියන්ට එහිදී දන්වා තිබේ.

බේබද්දන්ට එරෙහිව භාවිතයට ගැනීම සඳහා, පොලිසිය මැදිහත් වන්නේ නැහැ වැනි වැකි සටහන් සෙන්ටිමීටර 40ක් පමණ දිගින් යුත් එම පිති සාමාන්‍යයෙන් යොදාගනු ලබන්නේ රෙදි ඇපිල්ලීම සිදු කරන්නටය. මනාලියන් අතර එම පිති බෙදාදුන් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මහඇමැති ගෝපාල් භාර්ගවා කියා සිටියේ ගම්බද ප්‍රදේශවල වැඩි වශයෙන් දක්නට ඇති ගෘහස්ථ හිංසනය යටපත් කිරීමේ අරමුණින් එවැනි ක්‍රියාමාර්ගයක් ගත් බවය.

පිති භාවිතයට ගැනීමට පෙර ස්වාමිපුරුෂයන් සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට උත්සාහ ගන්නා ලෙසත් ඊට ඇහුම්කන් නොදෙන්නේ නම් ඉතිරිය පිත්තට භාර කරන ලෙසත් මහඇමැතිවරයා මනාලියන්ට පැවසීය. 

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මහ ඇමැති භාර්ගවා වැඩිදුරටත් කියා සිටියේ තමන් එවැනි පිති දස දහසක් ඇණවුම් කර ඇති බවය. තමන්ගේම විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීම සඳහා මූල්‍ය ශක්තියක් නොමැති අඩු ආදායම්ලාභීන්ට සහනයක් වශයෙන් ඉන්දියාව තුළ මෙබඳු සමූහ විවාහ මංගල්‍ය පැවැත්වේ.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00