2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

ප්‍රංශයේ ජනපති හටන

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

ප්‍රංශ ජනාධිපතිවරණය එරටට පමණක් නොව යුරෝපයේ සහ බටහිර දේශපාලනයේ අනාගතයට බලපාන වැදගත් සාධකයකි. පසුගිය 23දා පැවැති ජනාධිපතිවරණ පළමු වටයේ ඡන්ද විමසුමේදී ඒ සඳහා තරග කළ අපේක්ෂකයන් එකොළොස් දෙනෙකු අතරින් දෙදෙනෙක් ජනාධිපතිවරණ අවසන් වටය සඳහා තේරී පත්වූහ.

ඒ අනුව මධ්‍යස්ථ මතධාරී එම්මානුවෙල් මැක්‍රෝන් සහ අන්ත දක්ෂිණාංශික නායිකා මරීන් ල-පෙන් ජනාධිපතිවරණ අවසන් වටය සඳහා තරග කිරීමට නියමිතය. ඔහු ජනාධිපතිවරණය සඳහා තරග කරන්නේ පිළිගත් දේශපාලන පක්ෂයක සහායද නොමැතිවය.

පළමු වටයේ ඡන්ද විමසුමේ ප්‍රතිඵලවලට අනුව ඉහළින් සිටින එම්මානුවෙල් මැක්‍රෝන් මැයි 07 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් ජය ගතහොත් එරට එම ධුරයට පත්වන ලාබාලතම පුද්ගලයා ඔහු වනු ඇත. වසර හැටකට පසු ප්‍රංශයේ ප්‍රධාන වාමාංශික හෝ දක්ෂිණාංශික පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයේ දෙවන වටය සඳහා තේරී පත් නොවූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

පළමු වටයේ ප්‍රකාශිත ඡන්දවලින් 23.8% දිනාගැනීමට එම්මානුවෙල් මැක්‍රෝන් සමත් වූ අතර 21.5%ක ප්‍රතිශතයක් දිනාගැනීමට මරීන් ල-පෙන් සමත් විය. මධ්‍ය දක්ෂිණාංශික ෆ්‍රන්ෂුවා ෆියෝන් සහ අන්ත වාමාංශික ලුවෙක් මේලාෂෝ යන අපේක්ෂකයන්ට දිනාගත හැකිවූයේ 20%ට අඩු ප්‍රතිශතයකි.