2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

උතුරු කොරියාව සීරුවෙන්

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 167

අමෙරිකාව සහ සිය රට අතර ඉහළ යමින් පවතින මිලිටරි උණුසුම සහ ජාත්‍යන්තරයෙන් එල්ලවන දෝෂාරෝපණ නොසලකා හරිමින් තමන් දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම්වල නිරත වන බව උතුරු කොරියාව පවසයි. උතුරු කොරියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය හන් සොන්ග්රියෝල් ඒ බව කියා සිටියේ පියෝන්ග්යැන්ග් නුවර පැවති මාධ්‍ය හමුවක දීය.

“සතිපතා මාස්පතා අවුරුදු පතා අපි දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම් කරගෙන යනවා.” නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ අමෙරිකාව සිය රටට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළහොත් අමෙරිකාවට එරෙහිව “පූර්ණ යුද්ධයකට” එළඹෙන බවටද අනතුරු අඟවමිනි.

අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මින් පෙර ප්‍රකාශයක් කරමින් කියා සිටියේ උතුරු කොරියාව අමෙරිකාවේ “ඉවසීමේ සීමාව” පරීක්ෂාවට ලක් නොකළ යුතු බවය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ අමෙරිකාව වශයෙන් තමන් ඉවසීම ප්‍රදර්ශනය කළ යුගය දැන් අවසන් බවය.

පසුගිය ඉරිදා උතුරු කොරියාව විසින් දියත් කළ අසාර්ථක මිසයිල අත්හදා බැලීමෙන් සුළු වෙලාවකට පසුව උප ජනාධිපති පෙන්ස් දකුණු කොරියාවේ සියෝල් අගනුවරට සම්ප්‍රාප්ත විය.

පසුගිය අඟහරුවාදා ටෝකියෝ නුවර සංචාරයක නිරත වන අතරතුර මාධ්‍ය ඇමතූ අමෙරිකානු උප ජනාධිපතිවරයා, උතුරු කොරියාව කලාපයට විශාල තර්ජනයක් එල්ල කරන “අශුභ රටක්” බව පවසමින් කියා සිටියේ අමෙරිකාව සහ මිත්‍ර රටවල් පියෝන්ග් යැග්න් පාලනයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට හෝ ඊට වඩා ප්‍රබල පියවරක් ගැනීමට වුවත් සූදානමින් සිටින බවය.

ඒ අතර අමෙරිකාව සිය රටට එරෙහිව හමුදාමය ප්‍රහාරයක් සූදානම් කරමින් සිටී නම්, තමන්ට ප්‍රහාරයක් එල්ලවීමට පෙර න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර එල්ල කරන බව උතුරු කොරියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කියා තිබේ. පසුගිය වසර කීපය තුළ ජාත්‍යන්තරයෙන් එල්ල වූ දැඩි විරෝධය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවනු ලැබූ සම්බාධක නොසලකා හරිමින් උතුරු කොරියාව දිගින් දිගටම සිය මිසයිල අත්හදා බැලීමේ කටයුතුවල නිරත විය.

අමෙරිකාව ඇතුළු ඕනෑම රටකට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළ හැකිවන අයුරින් මහාද්වීප අතර පිහිටුවන සිය බැලස්ටික් මිසයිලයකට න්‍යෂ්ටික මිසයිල ශීර්ෂයක් සවි කිරීම උතුරු කොරියාවේ බලාපොරොත්තුවයි. උතුරු කොරියාවේ අරමුණ ඉටුකර ගැනීමට ඉඩ නොදෙන බව පවසන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තරය තුළ උතුරු කොරියාව තනි කිරීමේ පියවර දැඩි කිරීමට කටයුතු කරමින් සිටියි. දැන් මේ තත්ත්වය තුන්වැනි ලෝක මහායුද්ධයක් කරා ඉඩහසර සලසමින් තිබේ.