2021 මාර්තු 06 වන සෙනසුරාදා

අයිස්ලන්තය එකදිගට ගුගුරයි

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

සුගිය සතියක කාලය තුළ අයිස්ලන්තය පුරා භූකම්පන 17,000ක් එකදිගට සිදුවූ බව වාර්තා වේ. මේ රටවාසීන්ට භූකම්පන අරුමයක් නොවුණත් මේ තරම් භූකම්පන සංඛ්‍යාවක් එකදිගට අත්විඳීමට ලැබී ඇත්තේ මේ මුල්වරටය. ඒ නිසාම මේ අසාමාන්‍ය පොළෝ ගිගුරුම් ඔවුන් පවා තැති ගැන්වීමට සමත්ව තිබේ.

මේ අමුතු භූකම්පන සතියේ ලොකුම භූකම්පනය පෙබරවාරි 24 උදෑසන සිදුවූ රිච්ටර් මාපක ප්‍රබලතා අගය 5.6ක් වූ කම්පනයයි. මහ හඬින් ගුගුරා ගිය මේ කම්පනයේ තරංග  මගින් රටේ ජනගහනයෙන් තුනෙන් දෙකක්ම ජීවත්වන වෙරළබඩ රීක්ජාවික් අගනගරය සහ ඒ අවට පළාත් තදින්ම හෙල්ලී ගියේය. මේ සතිය තුළ තවත් මහාපරිමාණ ගිගුරුම් සහිත කම්පන දෙකක් වාර්තා විය. ඒ පෙබරවාරි 27 සහ මාර්තු 01 දිනයන්හි සිදුවූ ප්‍රබලතාව 5ට වැඩි කම්පන දෙකය. මේ කම්පන මගින් බරපතළ හානි සිදුව නැතත් කම්පන අපිකේන්ද්‍රය අවට මහාමාර්ග ඉරිතැලීම්, පොළොව විදාරණය වීම් සහ පස් හා ගල්කඳු කඩාවැටීම් වාර්තා වී තිබේ.

අයිස්ලන්තය නිතර එකිනෙක මත ගැටෙන උතුරු අමෙරිකා සහ යූරේසියා මහාද්වීපක තැටි මායිමේ පිහිටා ඇති ඒ හෙයින්ම භුකම්පන බහුල කලාපයක පවතින බව සැබෑ නමුත් මේ අන්දමට එක පෙළට පොළොව ගුගුරා යාම ඉතාමත් අසාමාන්‍ය වූවක් බව අයිස්ලන්ත සරසවියේ ගිනිකඳු විදාරණ පිළිබඳ මහාචාර්ය පොවැල්ඩර් පොරොර්සෝන් කියයි. මේ එකපෙළට සිදුවන ගිගුරුම් මගින් අනතුරු අඟවා ඇත්තේ ලාවා මැග්මා තරල මහ පොළොවේ පිටත පෘෂ්ඨයට ඉතා ළංව සැරිසරන බවත් එහෙයින් ඕනෑම මොහොතක ඕනෑම තැනකින් පොළොව විදාරණය වී ගිනිකඳු මතුවීමක් සිදුවිය හැකි බවත් යැයි මහාචාර්යවරිය අනතුරු අඟවා තිබේ.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00