2021 මාර්තු 06 වන සෙනසුරාදා

සුර සැප මැද සිරගත ජනපති

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 144

මෑතකාලීන ප්‍රංශ ඉතිහාසයේ පළමුවරට චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වූ ජනාධිපතිවරයා බවට එරට හිටපු ප්‍රංශ ජනපති නිකොලස් සාර්කොසි දැන් පත්ව හමාරය. දූෂණ අක්‍රමිකතා චෝදනා මත ප්‍රංශ අධිකරණය වසර තුනක සිරදඬුවමක්  ඉකුත්දා ඔහුට නියම කරන්නට යෙදිණි. කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව මගින් ලබාදුන් සිරදඬුවම් කාලසීමාව වසර 1 කට සීමා කර ඇත. එම කාලය තුළ ඔහු බන්ධනාගාර ගත නොවන අතර නිලධාරීන්ගේ අධීක්ෂණය මධ්‍යයේ ඉලෙක්ට්‍රොනික පළඳනාවක් සහිතව නිවාස අඩස්සියේ (House Arrest) සිටීමට සාර්කොසිට සිදුවනු ඇත.

2014 වර්ෂයේදී මැතිවරණ මූල්‍ය අක්‍රමිකතා චෝදනාවක් සම්බන්ධයෙන් පැවති විමර්ශනයකදී අදාළ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකරුගෙන් ඊට අදාළ තොරතුරු නීතිවිරෝධී මාර්ගයෙන් ලබා ගැනීමට තැත් කළේය යන්න අධිකරණය හමුවේ තහවුරු වූ අතර ඒ අනුව ඉහත තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත. සාර්කොසි සමඟ ඔහුගේ සම විත්තිකරුවන් හා නීතීඥයින් වන තියරි හර්සොග් සහ හිටපු මහේස්ත්‍රාත් ගිල්බර්ට් අසිබර්ට් මෙම අක්‍රමිකතා චෝදනාවලට වරදකරුවන් වූ අතර ඔවුනට වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක් පැනවීමට අධිකරණය කටයුතු කර ඇත. අදාළ කාලසීමාවේදී සිය දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් පැවැත්වූ අපරාධ විමර්ශනයකට අදාළව තොරතුරු ලබාගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයෙකුට මොනාකෝ රාජ්‍යයේ තනතුරක් ප්‍රදානය කිරීමෙන් අල්ලස් ලබාදීමට තැත් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණි.

නිකොලස් සාර්කොසි 2007 මැයි 16 සිට 2012 මැයි 15 අතර කාලයේ ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයාය. ඔහු හංගේරියානු සහ ග්‍රීක යුදෙව් මිශ්‍ර සම්භවයක් සහිත පැරීසියානුවෙකි. රිපබ්ලිකන් පාක්ෂිකයකු වන ඔහු බටහිර පැරීසියේ නගරාධිපතිවරයා ලෙස 1983 සිට 2002 දක්වා කාලයේ කටයුතු කර ඇත. රටේ අභ්‍යන්තර කටයුතු සහ මුදල් ඇමැතිධුරය ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක්ම දැරෑ ඔහු 2004-2007 දක්වා ඒ රට UMP පක්ෂයේ ප්‍රධානියාය. 2007 ජනාධිපතිවරණයෙන් කැපී පෙනෙන ජයක් ලබාගත්තද යුරෝපයේ මූල්‍ය ඇදවැටීමත් ලිබියානු සහ සිරියානු අර්බුදයත් අරාබි වසන්තයේ ගැටලුකාරී නැඟී ඒමත් හමුවේ හැලහැප්පිලි බහුල සමයක බලය රුකගැනීමට ඔහුට සිදුවිය. 2012දී පරාජයට පත්වූ ඔහු 2014දී නැවත පක්ෂයේ නායකත්වය ලැබූවද ජනාධිපති අපේක්ෂකත්වය අහිමිවීමත් සමග ප්‍රසිද්ධ දේශපාලනයෙන් ඉවත් විය.

නමුත් ඔහුට එරෙහි දූෂණ සහ අක්‍රමිකතා චෝදනා රුසක් එළියට ආවේය. සාර්කෝසි ජනාධිපතිධුරය දරණ කාලය තුළ ලිබියානු නායක ගඩාෆි සමඟ ප්‍රංශය වෙනුවෙන් විශාල ව්‍යාපාර ගිවිසුම්වලට එළැඹී ඇත. 2007 මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හිටපු ලිබියානු නායක ගඩාෆිගෙන් මුදල් ආධාර ලබාගත් බවට චෝදනා ඔහුට එල්ල විය. ප්‍රංශ සහ ලෙබනන් ව්‍යාපාරිකයෙකු වන සියැඩ් ටකීඩීන් සහ ගඩාෆි පාලනය යටතේ සිටි නිලධාරීන් සැපයූ තොරතුරු අනුව ගඩාෆි විසින් සාර්කෝසිගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 6.2 කට ආසන්න මුදල් ප්‍රමාණයක් ලබාදුන් බවට හෙළිදරව් විය. ඔහුට එල්ලවන එම චෝදනා සම්බන්ධයෙන් මුල්වරට විමර්ශන ආරම්භ කළේ 2013 වසරේදීය.

උපතින්ම සල්ලිකාරයන් වූ සාර්කෝසි පවුලට අයත් පොහොසතුන් වෙසෙන බටහිර පැරීසියේ මන්දිරයක ඔහු හැදී වැඩුණි. අධ්‍යාපනය අතින් වැඩි සාර්ථකත්වයක් නොපෙන්වූ ඔහු ඉංග්‍රිසි බැරිවීම නිසා විද්‍යා විෂයය අතහැර නීතිය තෝරාගත් බව වාර්තාවේ. නිශ්ශබ්ද සිසුවෙකු ලෙස ප්‍රසිද්ධ වුවද පසුව දක්ෂිනාංශික ශිෂ්‍ය ක්‍රියාකාරියෙක් හැටියට කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. ගුවන් හමුදාවේ තාවකාලික තනතුරක් හොබවා නිතීඥයකු බවට පත්වූ සාර්කොසි 1982 විවාපත් වූයේ දේශපාලනික බලයක් තිබූ පවුලකිනි. මේ නිසාම වයස 23දී ඔහුට දේශපාලනයේ ඉහළට එන්නට වාසනාව උදාවිය. එම විවාහයෙන් ඔහුට පුතුන් දෙදෙනෙකි. පසුව 1996දී ඔහු වෙනත් විවාහයක් කර ගත්තේය. එයින් ඔහුට එක් පුතෙකි. 2007 දී ජනාධිපති ධුරයට පත්වූ වහාම නැවත දික්කසාද වූ ඔහු 2008 දී අලුත් යුගදිවියක් ඇරඹුවේය. මේ විවාහයෙන් ඔහුට දියණියක් හිමිවූ අතර බලයේ සිටින අතර පිය පදවිය ලද පළමු ප්‍රංශ ජනාධිපති ලෙසද ඔහු ඉතිහාස ගතවිය. බලයට එනවිට යුරෝ මිලියන 2ක ධනවතෙක් වු ඔහු බලය ලද සැණින්ම සිදුකළ ප්‍රධාන කාර්යයක් වූයේ සිය ජනපති වැටුප වැඩිකර ගැනීමය. සාර්කොසි මේ වනවිටද විශ්‍රාම වැටුප් කිහිපයකටම හිමිකම් කියන්නෙකි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, නගරාධිපති, මෙන්ම හිටපු ජනාධිපති යන තනතුරු තුනටම අයත් විශ්‍රාම වැටුප් ඔහුට හිමිය. ෆෝබ්ස් වාර්තාවට අනුව 2020 වනවිට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 319.8කි. කිසි අඩුපාඩුවක් නැති සුපිරි රාජකීය ජීවිතයකට සෑහෙන මුදලකි. මේ නිසා දැන් ඔහුට හිමිවූ නිවාස අඩස්සිය ඔහු රජගෙදරක සිරවූ සල්ලිකාරයෙක් බවට පත්කර හමාරය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00