2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

හොඳම තෙල් ඇති රටේත් ලක්ෂ 25ක් සාගින්දරෙන්!

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

ලොව පිරිසිදුතම බොර තෙල් ඇති, වාර්ෂිකව බැරල් බිලියන 304ක නිෂ්පාදන ධාරිතාවක් සහිත රටක් වන වෙනිසියුලාවේ ලක්ෂ 25ක ජනතාවක් සාගින්දරෙන් පීඩා විඳින බව වාර්තා වේ. අමෙරිකා එක්සත් ජනපදය හා ඔවුන්ගේ මිත්‍ර සන්ධානයේ රටවල් විසින් 2005 වසරේ සිට මේ දක්වා; 2014, 2017, 2019, 2020 වර්ෂයන්හිදී නව කොන්දේසිද පනවමින් වෙනිසියුලාවට එරෙහිව පනවා ඇති සම්බාධක මෙයට හේතුවයි.  මාරාන්තික කොවිඩ් වසංගතය හමුවේ මෙම සම්බාධක හේතුවෙන් අමානුෂික ලෙස වෛද්‍ය සැපයුම් පවා අත්හිටුවීමෙන් එරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝණය වී ඇති බවට දොස් නගන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත ඇලෙනා දොව්හාන්ය.

පෙබරවාරි 1 වැනිදා සිට 12 වැනිදා දක්වා; වෙනිසියුලාවේ සෞඛ්‍ය, අධ්‍යාපන, සමාජ සේවා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි ක්‍රියාකාරීන් මෙන්ම එරට ජනාධිපති නිකලස් මදුරෝ ද මුණගැහෙමින් වෙනිසියුලාවට එරෙහි අමෙරිකාව ඇතුළු මිත්‍ර සන්ධානයේ ඒකපාර්ශ්වීය සම්බාධකවල මානුෂීය බලපෑම පිළිබඳව වන වාර්තාව එළිදක්වමින් ඇය මෙම කරැණු හෙළිදරව් කර තිබේ.

අමෙරිකාව, එංගලන්තය, පෘතුගාලය වැනි රටවල ජාත්‍යන්තර බැංකුවල ඇති ඩොලර් බිලියන ගණනක් වන වෙනිසියුලාවේ විදේශ සංචිත මුදාහැරීම මෙම සම්බාධක මත පදනම්ව ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ගේ කර්මාන්ත සඳහා අවශ්‍ය යන්ත්‍ර, දැනට ඇති යන්ත්‍රවල අමතර කොටස් පමණක් නොව මෙම කොවිඩ් වසංගතය හමුවේ එරටට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ වර්ග පවා මිලදී ගැනීමේ නොහැකියාවෙන් එරට සමස්ත ජනතාවම දැඩි පීඩාවන්ට ලක්ව ඇති බවත් ඇය වැඩිදුරටත් සිය වාර්තාවේ සඳහන් කර තිබේ.

වෙනිසියුලාවට කලින් කලට වඩ වඩාත් දැඩි කරමින් පනවා ඇති මෙම ඒකපාර්ශ්වීය සම්බාධක නිසා එරට සමාජ, ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන, වෙළෙඳ ආදී සියලු ක්ෂේත්‍රයන්හි දැඩි ඛේදජනක ව්‍යසනකාරී තත්ත්වයක් මේ වන විට ඇතිවී තිබේ. මේ අතර හමුදා කුමන්ත්‍රණයක් හරහා වෙනිසියුලාවේ බලය ඇල්ලීමට දෙවරක්ම උත්සාහ කර අසාර්ථක වූ එරට විපක්ෂ එකමුතුවේ ප්‍රධානී ජුආන් ගුඅයිදෝ (Juan Guaido) වෙනිසියුලාවේ ජනාධිපති ලෙස පිළිගනිමින් ඔහුව අභිෂේක කිරීමට අමෙරිකාව කටයුතු කර ඇත.