2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

තුන්වැනි ලෝක යුද්ධය සිරියාවෙන්

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 583

රුසියාව සහ ඉරාන හමුදාව අමෙරිකාව වෙත ඒකාබද්ධ අන්තිම නිවේදනය නිකුත් කර තිබේ. තවදුරටත් සිය දේශසීමා උල්ලංඝනය කරමින් සිරියාවේ සටනට අත පෙවීමට අමෙරිකාව උත්සාහ කළහොත් තමන් අමෙරිකාවට නියම පාඩමක් උගන්වන බව රුසියානු, ඉරාන හමුදා සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීහු තර්ජනය කර තිබේ.

පසුගියදා සිරියාවේ සිදු වූ රසායණික අවි ප්‍රහාරය දඩමීමා කර ගනිමින් අමෙරිකාව මිසයිල ප්‍රහාර 59ක් එල්ල කර තිබුණි. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනයට ආධාර ලබාදීම නවත්වන ලෙස බලකරමින් රුසියාවට එරෙහි සම්බාධක තවත් දැඩිකරන බව මේ අතර බ්‍රිතාන්‍ය විදෙස් ඇමැතිවරයාද කියා තිබුණි. මේ අනුව තවදුරටත් අමෙරිකාව සිරියානු ගැටුමට අත පෙවීමට උත්සාහ කළහොත් නියම යුද්ධයකට මුහුණ දීමට ඔවුන්ට සිදුවනු ඇති බවට රුසියා ඉරාන සහ හිස්බුල්ලා හමුදා තර්ජනය කරන්නට යෙදුණි. එබඳු තත්ත්වයක් හටගතහොත් සිරියානු ජනාධිපති හිතැති කණ්ඩායම සහ ඔහුට එරෙහි සටන්කරුවන්ට උපකාර කරන කණ්ඩායම ලෙස ලෝකය බෙදීමකට ලක්ව තෙවැනි ලෝක යුද්ධය සිරියාවෙන් ඇරැඹීමේ අනතුරුදායක තත්ත්වයක් මතුව තිබේ.

මේ සමග සරියාව අරබයා රුසියාව ගෙනයනු ලබන පිළිවෙත අමෙරිකාවේ දැඩි විවේචනයට ලක්ව තිබේ. ඒ අනුව සිරියානු ආණ්ඩුවේ ගුවන් කඳවුරකට එල්ල කළ අමෙරිකානු මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව කරන විවේචන ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය විසින් ප්‍රතික්ෂේප කරන්නට ද යෙදුණි.

අමෙරිකානු මිසයිල ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කළ මොස්කව් පාලනය විසින් එම ක්‍රියාව හඳුන්වනු ලැබුවේ ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් ලෙසය. සිය අභිමතය පරිදි කටයුතු කරමින් අමෙරිකාව ත්‍රස්තවාදීන්ට අනුබල ලබාදෙන බවට රුසියාව චෝදනා කළේය. රුසියාවේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් තමන් කණස්සල්ලට පත්වූ බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ටෙක්ස් ටිලර්සන් කියා තිබුණි.

අසාද් පාලනයට තවදුරටත් සහාය දක්වන බව රුසියාවේ ක්‍රියාකලාපයෙන් පිළිබිඹු වන බව කියා සිටි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා තමා රුසියාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පුදුමයට පත් නොවන බවත් සඳහන් කළේය. ඒ අතර ලන්ඩනය අනතුරු අඟවා සිටියේ G 7 සමුළුවට අයත් රටවල් එනම් කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය හා බ්‍රිතාන්‍යයද රුසියානු සම්බාධක තවත් දැඩිකිරීමට පියවර ගනු ඇති බවටය. රුසියාව මෙයට ප්‍රතිචාර දක්වා තිබුණේ තමන්ට එරෙහිව දැඩිවන සම්බාධක මගින් එල්ල වෙන පීඩනය මහා යුද්ධයක් කරා ලෝකය තල්ලු කරනු ඇති බවටය.
මේ අතර සිරියානු ආණ්ඩුවේ ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමට මොස්කව් පාලනය ප්‍රතිඥා දී තිබේ. රසායන ප්‍රහාර දියත් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස සිරියාවේ මිත්‍ර පාර්ශ්වයක් වන ඉරානයේ ජනාධිපති හසන් රවුහානි ඉල්ලා සිටියේය.

සිරියානු ආණ්ඩුවට එරෙහි විපක්ෂ කණ්ඩායම් අත පවතින ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව කැරලිකරුවන් අත පවතින ඛාන් සෙයිබෝන් නගරයට එල්ල වූ සැකකටයුතු විෂ රසායන ප්‍රහාරයෙන් දරුවන් තිස් තුන් දෙනෙකු ඇතුළු අසූ නව දෙනෙකු මරුමුවට පත්වී තිබුණි. සිරියානු ආණ්ඩු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.

2010 පමණ ඈතදී සිරියාවේ ඇරඹි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය. ආණ්ඩු විරෝධී කැරලිකරුවන් හමුවේ රට අස්ථාවර භාවයට පත්වීමත් සමග සිරියාවේ ඇතැම් ප්‍රදේශ ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවෝ අත්පත් කර ගත්හ.

ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින කැරලිකරුවන්ට අමතරව සිරියානු ජනපති අසාද්ගේ පාලනයට එරෙහිව සටන් කරන කැරලිකරුවන් සහ කුර්දි සටන්කරුවන්ගේ ක්‍රියාකාරීත්වයද සිරියාව තුළ වර්ධනය වී තිබේ. 

සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මරුමුවට පත් පිරිස තුන්ලක්ෂ පනස්දහසකට අධිකය. ගැටුම්වලට මැදි වී දස ලක්ෂයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර එක්කෝටි දස ලක්ෂයකට උන්හිටි තැන් අහිමි වී තිබේ. ජීවිත ආරක්ෂව පතා යුරෝපය ඇතුළු වෙනත් රටවලට පළාගොස් සිටින පිරිස හතළිස් ලක්ෂයකට ආසන්න වේ. ඉරානය, රුසියාව සහ ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරය සිරියානු ජනපති අසාද්ට සහාය පළකරති. අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සමග තුර්කිය, සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය සුන්නි බහුතරයක් වන අසාද් පාලනයට එරෙහි විරැද්ධ කණ්ඩායම්වලට සහාය ලබාදෙති.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00