2021 ජනවාරි 23 වන සෙනසුරාදා

එන්නත් ගින්න

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

ලෝකයේ ප්‍රධානතම එන්නත් නිෂ්පාදන ආයතනයේ මහා ගින්නක් හට ගත්තේය. කවුරුත් සිතා සිටියේ මේ ගින්න නිසා ලෝක එන්නත්කරණ වැඩපිළිවෙළ අඩපණ වේ යැයි කියාය. නමුත් සිය එන්නත් නිෂ්පාදනයට ගින්න බාධාවක් නොවූ බව ආයතනය දැන් කියයි.

ඉන්දියාවේ පූනේහි අක්කර 100ක වපසරියක පිහිටා ඇති ඉන්දියානු සීරම් ආයතනය සතු ගොඩනැගිල්ලක මෙම ගින්න ඇවිල ගියේය. එයින් පස් දෙනකුගේ ජීවිත අහිමි විය. සිරවී සිටි කිහිප දෙනෙක් බේරාගත් ගිනි නිවන භටයන්ට ගින්න නිවීමට පැය 3ක පමණ කාලයක් ගත වී තිබුණි. නමුත් පසුව වාර්තා වූයේ ගින්න නැවතත් දලුලමින් ඇති බවය. සිද්ධියෙන් මියගිය අයට ආයතනය ඉන්දියානු රුපියල් ලක්ෂ 25ක් බැගින් ගෙවීමට කටයුතු කරන බව කීවේය.

ලොව රටවල් 170කට පෝලියෝ, ටෙටනස්, ඩිප්තීරියා, හෙපටයිටීස්-B, වසූරිය වැනි ප්‍රධාන පෙලේ එන්නත් මිලියන ගණනින් නිපදවා බෙදාහරින මේ ආයතනය මේ වන විට නිපදවමින් සිටියේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රා සෙනෙකා ආයතනවල අලුත්ම කොවිඩ් එන්නත වූ කොවිෂීල්ඩ් එන්නතයි. ගින්න පිළිබඳ ආරංචිය පැතිර යාමත් සමඟ ලොව කවුරුත් තැති ගත්තේ මේ එන්නත ප්‍රමාද වේ යැයි කියාය. එසේ වුවද ගින්න ඇවිල තිබුණේ එන්නත නිෂ්පාදනය කරන ස්ථානයට ඈත තැනකය.

ආයතනය මංජරී සංකීර්ණය නැමති සිය නිදහස් කලාප කම්හල් භූමිය තුළ අලුතින් ගොඩනැගිලි 8-9ක් පමණ ඉදිකරමින් පැවතිණ. ගින්න හටගෙන තිබුණේ එයින් එක් ගොඩනැගිල්ලක් වන SEZ-3 නැමති මහල් පහක් වූ ගොඩනැගිල්ලේ හතර සහ පස්වැනි මහල අතරය. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව දැන් කියයි.